Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පළමු තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

පළමු තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

editorial - 2025 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර විශාකාපට්නම්හිදී අද (21 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ,  දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 14.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ජෙමිමා රොඩ්‍රිගස් පන්දු 44 කදී හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

මුලු ලකුණු සංඛ්‍යාව 13 ක්ව තිබියදී ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෂෙෆාලි වෙර්මා ලකුණු 9 කට දැවී ගියද, එතැන් පටන් ස්ම්‍රිති මන්දනා (25) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 41 කදී ලකුණු 54 ක්ද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් (නොදැවී 15) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 55 ක්ද එක්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ජෙමිමා සමත් වූවාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ අරම්භක පිතිකාරිණී විෂ්මි ගුණරත්න පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 39 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවූවාය.

විෂ්මිගේ දුවද්දී දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 18 ක් එක්වන විට නිලක්ෂි ද සිල්වා (8) සහ කවීෂා දිල්හාරිද (6) දුවද්දී දැවී යෑම්වලට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යෑම කැපී පෙනුණු සිදුවීමක් බවට පත්විය. නායිකා චමරි අතපත්තු හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක් ලබා සිටියදී දැවී ගි‍යේ ක්‍රාන්ති ගෞඩ්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි.

චමරි‍ගේ අසාර්ථකත්වයෙන් පසුවත් උත්සාහය අත් නොහළ විෂ්මි, දෙවැනි කඩුල්ල වෙනුවෙන් හසිනි පෙරේරා (20) සමග එක්ව පන්දු 38 කින් ලකුණු 31 ක්ද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා මාධවී (21)  සමග එක්ව පන්දු 38 කින් ලකුණු 38 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය. එහිදී පන්දු 23 කට බැගින් මුහුණදුන් හසිනිගේ සහ හර්ෂිතාගේ ඉනිම්වලට හතරේ පහර 2 බැගින් ඇතුළත් විය.

සිය මංගල විස්සයි-20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ වයිෂ්නාවි ශර්මා එහිදී කඩුලු දවාගැනීමට අසමත් වුවද, සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කළාය. දීප්ති ශර්මා ලකුණු 20 කට කඩුල්ලක් දවාගත්තේ නිලකුණු ඕවරයක්ද යවමිනි. කඩුලු දවාගත් සෙසු ඉන්දීය පන්දු යවන්නියන් වූ ක්‍රාන්ති ගෞඩ් සහ ශ්‍රී චරනි පිළිවෙළින් ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ලකුණු 23 ක් සහ 30 ක් බැගින් ලබාදුන්හ.

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 121

(විෂ්මි ගුණරත්න 39, චමරි අතපත්තු 15,  හසිනි පෙරේරා 20, හර්ෂිතා මාධවී 21)

ඉන්දීය කාන්තා පිල - ඕවර 14.4 කදී කඩුලු 2 කට 122

(ස්ම්‍රිති මන්දනා 25, ජෙමියා රෙඩ්‍රිගස් නොදැවී 69, හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 15)


අදහස් (0)

පළමු තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.