
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි තරගය ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී පන්ජාබ් කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී, එක් පන්දුවක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය. ශාෂන්ක් සිං පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ලකුණු 70 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී සිකන්දර් රාසා (15) සමග එක්ව 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 41 ක්ද, ජිතේෂ් ශර්මා (16) සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 39 ක්ද, අශූතෝෂ් ශර්මා (31) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 43 ක්ද එක්කරමින් ශාෂන්ක් පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 199 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ශුබ්මන් ගිල් පන්දු 48 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 89 ක් රැස්කළේය.
කේන් විලියම්සන් (26) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගිල්, ඉන් නොනැවතී සායි සුධර්ෂන් (33) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක්ද, විජේ ශංකර් (8) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක්ද එක්කරමින් ගුජරාට් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 199
(ශුබ්මන් ගිල් නොදැවී 89, කේන් විලියම්සන් 26, සායි සුධර්ෂන් 33, රාහුල් තේවතියා නොදැවී 23, කගිසෝ රබාඩා 44/2)
පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 19.5 කදී කඩුලු 7 කට 200
(ජොනී බෙයාස්ටෝ 22, ප්‍රභසිම්රන් සිං 35, සිකන්දර් රාසා 15, ශාෂන්ක් සිං 61, ජිතේෂ් ශර්මා 16, අශූතෝෂ් ශර්මා 31, නූර් අහමඞ් 32/2)
-036




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.