Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නිශාන් මධුෂ්ක අරම්භක පිතිකරුගේ භූමිකාවට
ටෙස්ට් තරගාවලිය

නිශාන් මධුෂ්ක අරම්භක පිතිකරුගේ භූමිකාවට

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට නිශාන් මධුෂ්ක කැඳවීමට තේරීම් කමිටුව සූදානම් වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැගනගන්නට තිබේ. ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන පැතුම් නිස්සංකගේ පිටකොන්දේ පවතින ආබාධයක් හේතුවෙන්, එය සුවවන තුරු ඔහුව සීමිත ඕවර තරග සඳහා යෙදවීමටත්, ටෙස්ට් කණ්ඩායමේදී දිමුත් කරුණාරත්නගේ සහාය ආරම්භක පිතිකරුවා වශයෙන් නිෂාන් මධුෂ්ක යොදාගැනීමටත් තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ.

මාර්තු මාසයේදී, නවසීලන්තයට එරෙහිව වෙලිංටන් නුවරදී, පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදී අංක 7 ස්ථානයෙන් පිටියට පිවිසි නිශාන් මධුෂ්ක එහි ඉනිම දෙකේදී ලබාගත්තේ ලකුණු 19 ක් සහ 39 කි. එහෙත් ආරම්භක පිතිකරුවකු වන මධුෂ්ක, දිගු ඉනිම කරා යාමේ  සමතෙකි. නවසීලන්ත සංචාරය සඳහා යාමට පොරතුව, එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේ තරග 3 කදී, ආරම්භක පිතිකරුවකු වශයෙන් (ඉනිම 5 කදී) ලකුණු 514 ක් ලබාගත් නිශාන් මධුෂ්කගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 150, 01, 241, 22 සහ 100 ක් වශයෙනි.

එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව නිල නොවන ටෙස්ට් තරග දෙකම පැවැතියේත් ගාල්ල ක්‍රීඩාංගණයේදී වන අතර අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේද ගාල්ල ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින්ම ක්‍රීඩා කරන්නේත්, ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට ඉතාමත්ම වාසිදායක ක්‍රීඩාංගණය වන්නේත් ගාල්ල ක්‍රීඩාංගණයයි යන්න ටෙස්ට් ක්‍රීඩකයන් අතරේ මුල්බැසගත් මතයකි. එබැවින්, වසර 2020 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරග 10 කින් තරග 8 ක්ම පවත්වා ඇත්තේ ද ගාල්ල ක්‍රීඩාංගණයේදීය. තවත් තරග දෙකක් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති නමුත් එයින් එක තරගයකදී ලකුණු 541 ක් ලබාගත් බංග්ලාදේශය තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තේය.

නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති අතර පසුගිය මාස තුනක පමණ කාලයක සිට දිගින් දිගටම ලකුණු අතර සිටින සධීර සමරවික්‍රම කඩුලු රකින්නාගේ ස්ථානයට පැමිණීමට නියමිතය.

මෑත කාලීන අන්තර්ජාතික තරග වලදී දිගින් දිගටම ක්‍රීඩා කළ ළහිරු කුමාර සහ කසුන් රාජිත දෙදෙනාවද විවේක ගැන්වීමට තේරීම් කමිටුව සාකච්ඡා කර තිබේ. ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාන්‍ය සංයුතිය වේග පන්දු යවන්නන් දෙදෙනකුට සීමා වන බැවින්, අයර්ලන්තයට එරෙහි තරගාවලිය සඳහා වේග පන්දු යවන්නන් ලෙසින් අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක සංචිතයට ඇතුළත්කර සිටිති.

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව විශිෂ්ට දස්කම් දැක්වූ පා දඟ පන්දු යවන්නකු මෙන්ම බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු ද වන වන දුෂාන් හේමන්ත ටෙස්ට් සංචිතයට එක්ව සිටී. ලයන්ස් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී කඩුලු 11 ක් දවාගත් දුෂාන් එම තරගාවලියේ ජය ශ්‍රී ලංකා ‘ඒ’ පිලට දිනා දීමට අගනා මෙහෙවරක් කළේය. රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් කණ්ඩායමේ තමන්ගේ ස්ථාන ආරක්‍ෂා කරගෙන සිටිති.

අයර්ලන්ත තරගාවලියෙන් පසුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට තමන් සූදානම් බව දිමුත් කරුණාරත්න ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පතට පවසා තිබිණ.

“මට ඒ ගැන තේරීම් කමිටු නිලධාරීන් එක්ක කතා කරන්න ඕනා. ඒ ගොල්ලන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ එන සම්පූර්ණ චක්‍රය වන වසර දෙකක කාලය ද? නැතිනම් මේ අවුරුද්ද විතරක් නායකත්වයේ ඉඳලා ඊට පස්සේ එන කෙනාට ඒක බාර දෙනවාද කියන එක ද? මේ තරගාවලියෙදි මම ඔවුන් එක්ක ඒ ගැන කතා කරනවා” යයි දිමුත් කරුණාරත්න ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පතට ප්‍රකාශ කර තිබිණ.

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 24 දෙනකුගේ සංචිතයක් තෝරාගෙන ඇති අතර ඔවුන්ගෙන් 15 දෙනෙක් මේ මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු තරගය සඳහා නම්කර තිබේ. ක්‍රීඩකයන් 24 දෙනාගේම නම් අනුමැතිය සඳහා ක්‍රීඩා ඇමතවරයා වෙත යවා තිබෙන නමුත් අද (ඉරිදා) සවස් වන තුරුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ සම්බන්ධ නිල නිවේදනයක් නොතිබිණ.
 
බංග්ලාදේශයට එරෙහිව ඩකා නුවරදී ටෙස්ට් තරගයකට සහභාගි වී පරාජය වූ අයර්ලන්ත කණ්ඩායම අද සවස ශ්‍රී ලංකාවට පැමිණියේය. වසර 2017 දී ටෙස්ට් වරම් ලබාගත් අයර්ලන්තය මේ දක්වා සහභාගි වූ ටෙස්ට් තරග 4 ම පරාජය වී තිබේ.

 
පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු

 


අදහස් (0)

නිශාන් මධුෂ්ක අරම්භක පිතිකරුගේ භූමිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.