Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තය වි-20 තරගාවලියත් ජයගනී
විස්සයි-20 තරගාවලිය

නවසීලන්තය වි-20 තරගාවලියත් ජයගනී

editorial - 2023 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් මෙන්ඩිස් (73) ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 180 කඩයිම පසුකර ගියේය. එහෙත් පන්දුවක් ඉතිරිව තිබියදී අපේක්‍ෂිත ඉලක්කය කරා අවතීර්ණ වූ නවසීලන්ත පිතිකරුවෝ ක්වීන්ස්ටවුන් නුවරදී අද පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 4 ක තියුණු ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් තරග තුනකින් සමන්විත වි-20 තරගාවලියේදී නවසීලන්තය 2-1 ක ජයක් අත්කර ගත්තේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබාගත්තේ පන්දු 48 කින් ලකුණු 73 ලබාගත් කුසල් මෙන්ඩිස් පිතිහරඹයට ස්තුති කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 5 කින් සමන්විත විය. එහෙත් තරමක් කුඩා ක්‍රීඩාංගණයක් වන ක්වීන්ස්ටවුන් පිටියේදී මෙන්ඩිස්ගේ පිතිහරඹය නිශ්ක්‍රිය කළ ටිම් සේෆර්ට්, පන්දු 48 කින් ලකුණු 88 ක් උදුරා ගත්තේ කඩුලු 4 ක ජයක් කරා යාමට තම කණ්ඩායමට පාර කපා දෙමිනි. 

සේෆර්ට්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. 

ආරම්භක පිතිකරු චැඩ් බෝව්ස් සමගින් ලකුණු 53 ක සහ නායක ටොම් ලෙතම් සමගින් ලකුණු 84 ක සම්බන්ධතා ගොඩනැංවූ සේෆර්ට් දැවී යන විට නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණයට ලකුණු 29 ක් මෑතින් සිටි නමුත් ඒ සඳහා පන්දු 23 ක් ඉතිරිව තිබිණ. 

කෙසේ වෙතත් සේෆර්ට් දැවී යාමෙන් පසුව, 19 වැනි ඕවරයේ නිමාව දක්වාම, පන්දු 16 ක් ඇතුළත එකම හතරේ පහරක් හෝ ගැසීමට ප්‍රමෝද් මධුශාන් සහ කසුන් රාජිත දෙදෙනාගෙන් අවසර නොලැබිණ. එබැවින් තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 10 ක් ලබාගැනීමේ අභියෝගයට නවසීලන්තය මුහුණ දුන්නේය. 

ළහිරු කුමාර යැවූ අවසන් ඕවරයේ පළමු පන්දුවම මාක් චැප්මන් විසින් ක්වීන්ස්ටවුන් කඳු පාමුලට යැවූවද, ඊළඟ පන්දු තුනේදී චැප්මන්, ජේම්ස් නීෂම් මෙන්ම ඩැරල් මිචෙල් ද දැවී ගියහ. නීෂම් දුවද්දී දැවී යාම හේතුවෙන් ළහිරු කුමාරට කඩුලු ත්‍රිත්වයක් නැතත්, පිට පිටම පන්දු තුනකදී කඩුලු 3 කි. 

එවිට නවසීලන්ත ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ පන්දු 3 කින් ලකුණු 3 කි. එහෙත් කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට මෙන්ම පන්දු යැවූ ළහිරු කුමාරටත් පන්දුව වීසි කිරීමේදී කඩුල්ල මඟ හැරීම හේතුවෙන් නවසීලන්තයේ ජයග්‍රහණය සුරැකිණ. 

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිල හිමිවූ එකම ජයග්‍රහණය ඕක්ලන්ඩ් නුවරදී ලබාගත් විස්සයි-20 ජය පමණි. 

“මේ තණතීරුවේ තණකොළ වගේම පන්දුවේ දෝලනයත් තිබුණා. ඒ නිසා පළමු වැනි හයේ පහර ගහන්න ටිකක් අමරු වුණත්, එයින් පස්සේ මගේ පිතිහරඹය ගැන මට සතුටක් තියෙනවා” යයි ශ්‍රී ලංකා ඉනිම නිමා වීමෙන් පසුව කුසල් මෙන්ඩිස් පැවසීය. 

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක ටොම් ලෙතම් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා නවසීලන්ත පන්දු යවන්නන්ට පන්න පන්නා පහර දෙන්නට වූහ. 10 වැනි ඕවරයේදී පැතුම් නිස්සංක දැවී යන විට ආරම්භක පිතිකරුවා පන්දු 25 කින් ලකුණු 25 ක් ලබා සිටි අතර මුලු ලකුණු සංඛ්‍යාව 76 ක් වී තිබිණ. 

කුසල් පෙරේරා වෙනදාට වඩා වගකීමෙන් යුතු පිතිහරඹයක නිරත වෙමින් සිටියදී කුසල් මෙන්ඩිස් සුපුරුදු ආක්‍රමණශීලී මාවතේම ගියේය. 
කුසල් පෙරේරා (33), ධනංජය ද සිල්වා (20) සහ නායක දසුන් ශානක (15) සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවන් ලබාගත් අතර 20 වැනි ඕවරය ආරම්භ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂිත මායිම වූ ලකුණු 180 ට අතපොවන දුරින් සිටියේය. එහෙත් මැතිව් හෙන්රි විසින් යවන ලද අවසන් ඕවරයේදී චරිත් අසලංක දුවද්දී දැවී ගියා පමණක් නොව, එයින් ලබාගත හැකිවූයේද ලකුණු 3 ක් පමණක් වූයෙන් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව 182 දී නතර විය. 

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලි තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම ජයග්‍රහණය ඕක්ලන්ඩ් නුවරදී ලබාගත් විස්සයි-20 ජය පමණි. තරග 2-0 කින් ටෙස්ට් තරගාවලිය පරාජය වූ ශ්‍රී ලාංකිකයෝ එක්දින තරගාවලියේදීත් 2-0 ක පරාජයක් අත්කර ගත්හ. 


අදහස් (0)

නවසීලන්තය වි-20 තරගාවලියත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.