Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ධවාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි
අයි.පී.එල් 2023

ධවාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි

editorial - 2023 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (9 වැනිදා) සමත් විය. හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.

හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ, පන්දු 17 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ.

ලකුණු 45 ක් තුළ හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වුවද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 100 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ රාහුල් ත්‍රිපාති (නොදැවී 74) සහ ඒඩ්න් මාක්‍රම් (නොදැවී 37) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

එහිදී පන්දු 48 කට මුහුණදුන් ත්‍රිපාති හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 21 කදී වාර්තා වූ නායක මාක්‍රම්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් පන්දු 20 කින් ලකුණු 21 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 143 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ශිකර් ධවාන් පන්දු 66 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ වුවත් පිතිකරු 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම හේතුවෙන් පන්ජාබ් කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මායන් මාර්කන්ඩේ සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳ හෙළුවේය.


පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 143
(ශිකර් ධවාන් නොදැවී 99, සෑම් කරන් 22, මායන්ක් මාර්කන්ඩේ 15/4, මාර්කෝ ජැන්සන් 16/2, උම්රාන් මලික් 32/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 17.1 කදී කඩුලු 2 කට 145
(මායන්ක් අගර්වාල් 21, රාහුල් ත්‍රිපාති නොදැවී 74, ඒඩ්න් මාක්‍රම් නොදැවී 37)

-036

 


අදහස් (0)

ධවාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.