Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඩි’කොක් - ඩූසන් දකුණු අප්‍රිකාව දිනවති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඩි’කොක් - ඩූසන් දකුණු අප්‍රිකාව දිනවති

editorial - 2023 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ක්වින්ටින් ඩි’කොක්ගේ (114) සහ රාස් වැන්ඩර් ඩූසන්ගේ (133) ශතක හමුවේ නවසීලන්තයට එරෙහිව පූනේ නුවර මහරාෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 190 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම ජයත් සමග යළිත් වරක් ඉන්දියාව පසුපසට ඇද දමමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 358 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 35.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කේෂව් මහරාජ් ඕවර 9 ක් යවමින් ලකුණු 46 කට කඩුලු 4 ක් දවාගත් අතර මාකෝ ජැන්සන් ලකුණු 31 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ග්ලේන් පිලිප්ස් පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 60 ක් රැස්කිරීමට සමත් වුවද, සෙසු පිතිකරුවන්ගේ සහායක් නොලැබීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටොම් ලේතම්‍ගේ අ‍ාරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 357 ක් ලබාගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 38 ක්ව තිබියදී නායක ටෙම්බා බවුමා ලකුණු 24 කට දැවී ගියද, රාසි වැන්ඩර් ඩූසන් (133) සමග එක්ව දකුණු අප්‍රිකානු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 189 කදී ලකුණු 200 ක සම්බන්ධතාවක් ගොඩනැගීම‍ට ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් සමත් විය.

එහිදී පන්දු 116 කට මුහුණදුන් ඩි’කොක් හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සිය 21 වැනි එක්දින ශතකය සැරසුවේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඩි’කොක් ලබාගත් සිවුවැනි ශතකය මෙය වූ අතර මෙම තරගයට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 100 ක්, ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 109 සහ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 174 ක් රැස්කිරීමටද ඔහු සමත්ව සිටියේය.

පන්දු 118 කදී ලබාගත් 6 වැනි එක්දින ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 9 කින් අලංකාර කළ ඩූසන්, ඩි’කොක්ගේ දැවී යෑමෙන් අනතුරුව ඩේවිඩ් මිලර් (53) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 43 කදී වේගවත් ලකුණු 78 ක් එක් කිරීමටද සමත් විය. පන්දු 30 කදී වාර්තා වූ මිලර්ගේ අර්ධ ශතකය හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

 

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 357
(ක්වින්ටින් ඩි’කොක් 114, ටෙම්බා බවුමා 24, රාසි වැන්ඩර් ඩූසන් 133, ‍ඩේවිඩ් මිලර් 53, හෙන්රිච් ක්ලාසන් නොදැවී 15, ටිම් සවුති 77/2) 

නවසීලන්තය - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 167  
(විල් යං 33, ඩැරිල් මිචෙල් 24, ග්ලේන් පිලිප්ස් 60, කේෂව් මහරාජ් 46/4, මාකෝ ජැන්සන් 31/3, ජෙරල්ඩ් කොයෙට්සර් 46/2) 


අදහස් (0)

ඩි’කොක් - ඩූසන් දකුණු අප්‍රිකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.