Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ටෙස්ට් ලෝක ශූරතාව නවසීලන්තයට

ටෙස්ට් ලෝක ශූරතාව නවසීලන්තයට

editorial - 2021 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අති විශිෂ්ට සටන්වැදීමක නිතර වූ නවසීලන්ත ක්‍රීඩකයෝ සදම්ප්ටන්හිදී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින් ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත්හ. වසර 2015 සිටම, ලෝක කුසලාන අවසන් මහ තරග 3 කට සුදුසුකම් ලබාගත් කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම වසර හයක උත්සාහය අවසානයේදී ලෝක ශූරතාවක් තම රටට ගෙන යාමට සමත් විය.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ශූරයන්ට හිමි සෙංකෝලය සහ ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 16 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32 ක් නවසීලන්ත කණ්ඩායමට පිරිනැමිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් කරා ගිය නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 2 ක් පමණක් දැවී තිබියදී නායක කේන් විලියම්සන් සහ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රොස් ටේලර් තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. විලියම්සන් නොදැවී ලකුණු 52 ක් ලබාගත් අතර පන්දු 100 කට මුහුණ දුන් රොස් ටේලර් හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 47 ක් ලබා සිටියේය.  

රවිචන්ද්‍රන්න් අශ්වින්ගේ තර්ජනාත්මක දඟ පන්දු යැවීම හමුවේ අභීතව හිස් එසවූ විලියම්සන් - ටේලර් දෙදෙනා අතර පැය දෙකකට වැඩි වේලාවක් පුරා පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 96 ක් විය. දෙදෙනාගේ අධිෂ්ඨානය කෙතරම් දැඩිවීද යත්, ලෝක ශුරතාව හතරේ පහරක් තරම් මෑතකින් තිබියදීත් හොඳ පන්දු නිදැල්ලේ යැවීමට තරම් රොස් ටේලර් තැන්පත් ව සිටියේය. එහෙත් ඔහු තරගය නිමා කළේ අත්‍යාලංකාර පහරකින් මොහොමඩ් සාමිගේ පන්දුවක් හතරේ සීමාව කරා යවමිනි.

තරගයේ ආරම්භක දිනය මෙන්ම ඉන් පසුවත් පැය ගණනාවක්ම වර්ෂාවට සේදී ගිය බැවින් මෙම තරගය එහි අතිරේක දිනය වූ අදටත් (23 වැනිදා) දීර්ඝ කිරීමට තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා තීරණය කළේය. මෙම අතිරේක දිනය කල්තබාම වෙන්කර තිබුණු අතර එහි උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට හැකිවිය.

අද උදෑසන සිටම, අති විශිෂ්ට සටන්කාමීත්වයක් පෙන්නුම් කළ ටිම් සවුති (48/4) ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ පහසු ඉලක්කයක් තම පිතිකරුවන් වෙත සකස් කර දුන්නේ ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 170 කට සීමා කරමිනි. මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 32 ක වාසිය හේතුවෙන් නවසීලන්ත ඉලක්කය ලකුණු 139 ක් තරම පහසු එකක් විය.

තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා  සිටි අතර ඉතිරි ලකුණු 120 ලබාගැනීමට, ඕවර 45 ක් ඉතිරිව තිබිණ. එහෙත් ඒ වෙනුවෙන් සම්පූරණ ඕවර සංඛ්‍යාව අවශ්‍ය නොවීය.

අද පෙරවරුවේදී, පන්දු 5 ක් ඇතුළත, කයිල් ජැමීසන් විසින් ඉන්දීය නායකයා වන විරාට් කෝලි සහ මැද පෙළ පිතිකරු චෙට්ස්වාර් පුජාරා යන දෙදෙනාම දවාගන්නා ලදි. ඒ වන විට ලකුණු 40 ක පමණ වාසියක් අතැතිව සිටි ඉන්දීය පිල පරෙස්සමෙන් ඉදිරියට ගෙන ගිය කඩුලු රකින්නා වන රිෂාබ් පන්ට්, දිවා ආහාරය වන විට ඉන්දියාවේ වාසිය ලකුණු 98 ක් දක්වා ඉහළ දමාගත්තේ තමාගේ නමට ඉදිරියෙන් නොදැවී ලකුණු 28 ක් සටහන් කරගනිමිනි. එහෙත් දිවා ආහාරයෙන් පසු රවීන්ද්‍ර ජදේජා දවාගත් නීල් වැග්නර්, නවසීලන්තයේ ජය මාවත විවර කරගත්තේය.

පන්ට්ගේ ආක්‍රමණය පැවැතියේ පැය දෙකකට මඳක් වැඩි කාලයක් පමණි. පන්දු 88 කදී ලකුණු 41 ක් ලබාගත් ඉන්දීය කඩුලු රකින්නා හෙන්රි නිකොල්ස්ගේ විශිෂ්ට පන්දු රැකීමකින් දැවී ගියේය. එතැන් සිට ඉන්දීය ඉනිමට එක්වූයේ ලකුණු 14 ක් පමණි.

දිවා ආහාරය වන විට ලකුණු 130 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටි ඉන්දීය කණ්ඩායම පරෙස්සම් සහගත ගමනක නිරත වී සිටියේය. එහෙත් ටේ‍රන්ට් බෝල්ට්ගේ ඕවරයකදී රිෂාබ් පන්ට් සහ රවිචන්ද්‍රන් අශ්වින් දැවීයාමත් සමගම තරගයේ වාසිය එහෙම පිටින්ම නවසීලන්තය සතුවිය.

රිෂාබ් පන්ට් ලකුණු 5 ක් පමණක් ලබා සිටියදී (මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 4 ට 82 යි) වමත් පිතිකරුවා වන පන්ට් දුන් පහසු උඩපන්දුවක් දෙවැනි ස්ලිප් හි සිටි ටිම් සවුති වෙතින් ගිළීහී ගියේය. එම කඩුල්ලත් කයිල් ජෑමීසන්ට අත්වූයේ නම්, ලකුණු 50 ක පමණ වාසියක් තිබියදී ඉන්දියාවට කඩුලු 5 ක් අහිමි වන්නට තිබුනද ඉනිම අවසානයේදී පන්දුව අතට ගත් සවුති, කලින් තමන්ගෙන් වූ අතපසුවීම මකා දැම්මේ අවසන් පිතිකරුවන් දෙදෙනාටම වගකියමිනි.


ඉන්දියාව - පළමු ඉනිම 217 යි
නවසීලන්තය - පළමු ඉනිම 249 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 170 යි

(රෝහිත් ෂර්මා 30, චෙටේස්වාර් පුජාරා 15, විරාට් කෝලි 13, අජින්ක්‍යා රහනේ 15, රිෂාබ් පන්ට් 41, , රවීන්ද්‍ර ජදේජා 16, මොහොමඩ් සාමි 13, ටිම් සවුති 48/4, ටේ‍රන්ට් බෝල්ට් 39/3, කයිල් ජැමීසන් 30/2)
නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 140 යි
(ටොම් ලෙතම් 9, ඩෙවොන් කොන්වේ 19, කේන් විලියම්සන් නොදැවී 52, රොස් ටේලර් නොදැවී 47, රවිචන්ද්‍රන් අශ්වින් 17/2)

 

 


- 213

 


අදහස් (0)

ටෙස්ට් ලෝක ශූරතාව නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.