Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ගුජරාට් ක්‍රීඩකයෝ අයි.පී.එල්. ශූරතාව දිනති
අයි.පී.එල්.- 2022

ගුජරාට් ක්‍රීඩකයෝ අයි.පී.එල්. ශූරතාව දිනති

editorial - 2022 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මහ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. අයි.පී.එල්. තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායම් දෙකෙන් එකක් වූ ගුජරාට් කණ්ඩායම සිය මංගල තරගාවලියේදීම ශූරතාව දිනාගැනීමට සමත්වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.

අහමදාබාද්හි නරේද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති අවසන් මහ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ක්‍රීඩකයෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ගුජරාට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුන අතර එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 91 ක් පමණ විය.

මුලු ලකුණු සංඛ්‍යාව 23 ක් වන විට කඩුලු 2 ක් බිඳවැටුණද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් (නොදැවී 45) සහ නායක හර්දීක් පාණඩ්‍යා (34) ගුජරාට් කණ්ඩායම යළිත් ජයග්‍රාහී මාවතට රැගෙන ආහ. පන්දු 30 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ දස්කම් හේතුවෙන් පාණඩ්‍යා අවසන් තරගයේ වීරයා බවටද පත් විය.

තරග නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ශුබ්මන් ගිල්, හයේ පහරකින් ගුජරාට් කණ්ඩයමේ ජයග්‍රණය තහවුරු කළේය. පන්දු 43 කට මුහුණදුන් ඔහු හතරේ පහර 3 කින්ද සිය ඉනිම සැරසුවේය. අවසන් පූර්ව තරගයේදී මෙන්ම මෙම තරගයේදීද වේගවත් පිතිහරඹ රටාවක නිරත වූ ඩේවිඩ් මිලර් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් ගුජරාට් කණ්ඩයමේ ජයග්‍රණය ජයග්‍රහණයට දායකත්වය සැපයීය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායමට ගුජරාට් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලබාගත හැකි වූයේ ලකුණු 130 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවිමක නිරත වූ නායක හර්දීක් පාණ්ඩ්‍යා සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. රාජස්ථාන් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා පාණ්ඩ්‍යාට අනගි සහායක් දුන් රවිශ්‍රීනිවාසන් සායි කිෂෝර් ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 35 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක් රැස්කළ අතර යෂස්වි ජයිස්වාල් පන්දු 16 කින් ලකුණු 22 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. තරග 17 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 864 ක් රැස්කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමටද බට්ලර් සමත් විය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට රාස්ථාන් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් සමත් වූයේ තරග 17 කදී කඩුලු 27 දවාගනිමිනි. තරගාවලිය පුරා ඔහු සමග කරට කර තරගයක නිරත වූ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර තරගාවලියේ දම් පැහැති තොප්පිය අහිමි වූයේ එක් කඩුල්ලකිනි. තරග 16 කදී කඩුලු 26 ක් දවාගැනීමට වනිඳු සමත් විය.

මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 10 ක්ම ජයගනිමින් අවසන් වටයට පිවිසි ගුජරාට් කණ්ඩායම, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ පළමු අවසන් පූර්ව තරගයේදී රාජස්ථාන් කණ්ඩයාම පරාජයට පත්කරමිනි. මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 9 ක් ජයගත් රාජස්ථාන් කණ්ඩායම, දෙවැනි අවසන් පූර්ව තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

 
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 130
(යෂස්වි ජයිස්වාල් 22, ජොස් බට්ලර් 39, සංජු සැම්සන් 14, රියාන් පරාග් 15, හර්දීක් පාණ්ඩ්‍යා 17/3, රවිශ්‍රීනිවාසන් සායි කිෂෝර් 20/2)

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 18.1 කදී කඩුලු 3 කට 133
(ශුබ්මන් ගිල් නොදැවී 45, හර්දීක් පාණඩ්‍යා 34, ඩේවිඩ් මිලර් නොදැවී 32)

-036

 


අදහස් (0)

ගුජරාට් ක්‍රීඩකයෝ අයි.පී.එල්. ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.