Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කෝඩුකාර ටකර්ගෙන් ශතකයක්
ඩකා ටෙස්ට් තරගය

කෝඩුකාර ටකර්ගෙන් ශතකයක්

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුල් ඉනිමේදී ලකුණු 155 කින් පසුපසට ඇද වැටුණ නමුත් දෙවැනි ඉනිමේදී සටන්කාමී පිතිහරඹයක නිරතව සිටින අයර්ලන්ත ක්‍රීඩකයෝ ඩකා නුවරදී පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (06 වැනිදා) නිමාව වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 286 ක් ලබාගත්හ. අයර්ලන්තය වෙනුවෙන් විශිෂ්ට සටනක නිරත වූ කෝඩුකාර ලෝකන් ටකර් පන්දු 162 කදී ලකුණු 108 ක් ලබාගනිමින් අයර්ලන්තයේ හිස් ඔසවා තැබූහ.

අයර්ලන්තය මේ වන විටත් බංග්ලාදේශයට වඩා ලකුණු 131 ක් ඉදිරියෙන් සිටින නමුත්, තරගයේ තවත් සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව ඇති බැවින් ද, මුල් ඉනිමේදී බංග්ලාදේශය ලබාගත් විශාල වාසිය ද හේතුවෙන් සත්කාරකයන් හමුවේ ඇත්තේ පහසු ගමනකි.  
වසර 2018 දී ටෙස්ට් වරම් ලද අයර්ලන්තයේ සිව්වැනි ටෙස්ට් තරගය මෙයයි.

අයර්ලන්තය වෙනුවෙන් දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙසින් වාර්තා පොතට එක්වූ ලෝකන් ටකර්, විනාඩි 226 කට පසුව, එබාදත් හොසේන්ගේ පන්දුවක් හමුවේ එක්ස්ට්‍රා කවර්ස්හි සිටි ෂොරිෆුල් ඉස්ලාම්ට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය. කෝඩුකාර කඩුලු රකින්නා, ඒ වන විට සිය ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් අලංකාර කර තිබිණ.

අයර්ලන්ත දෙවැනි ඉනිමේදීත් ලකුණු 51 කට කඩුලු 5 ක් බිඳ වැටිණ. එහෙත් හැරී ටෙක්ටර් (56) සමගින් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක් එක්කළ 26 හැවිරිදි කඩුලු රකින්නා, ඇන්ඩි මැක්බ්‍රයින් (නොදැවී 71) සමගින් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 111 ක් එකතු කළේය. ඒ අතරවාරයේදී හැරී ටෙක්ටර්  එකම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම (50 සහ 56) අර්ධ ශතක ලබාගත් පළමුවැනි අයිරිශ් ජාතිකයා ලෙසින් ක්‍රිකට් වාර්තා පොතට එක්විය.

වමත් දඟ පන්දු යවන්නා වන තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හතරේ සීමාවට යවමින් සිය ශතකය සම්පූර්ණ කළ ලෝකන් ටකර්ට පෙර අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් ශතකයක් ලබා සිටියේ කෙවින් ඕ’බ්‍රයන් පමණි. පාකිස්තානයට එරෙහිව ඩබ්ලින් නුවරදී පැවැති මංගල ටෙස්ට් තරගයේදී කෙවින් ඕ’බ්‍රයන් ලකුණු 118 ක් ලබාගත්තේය.
මෙම ටෙස්ට් තරගය අවසානයේදී අයර්ලන්ත කණ්ඩායම ටෙස්ට් තරග දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


අයර්ලන්තය - පළමු ඉනිම 214 යි
(ජේම්ස් මැකලම් 15, ඇන්ඩි බිල්බරින් 16, හැරී ටෙක්ටර් 50, කර්ටිස් කැම්පර් 34, ලෝකන් ටකර් 37, ඇන්ඩි මැක්බ්‍රයින් 19, මාක් ඇඩෙයර් 32, තයිජුල් ඉස්ලාම් 58/5, මෙහෙදි හසන් මිරාස් 43/2)

බංග්ලාදේශය - පළමු ඉනිම 369 යි
(ටමීම් ඉක්බාල් 21, මොමිනුල් හක් 17, මුෂ්ෆිකුර් රහීම් 126, සකිබ් අල් හසන් 87, ලිටන් දාස් 43, මෙහෙදි හසන් මිරාස් 55, මාක් ඇඩෙයර් 64/2, ඇන්ඩි මැක්බ්‍රයින් 118/6, බෙන් වයිට් 71/2)

අයර්ලන්තය - දෙවැනි ඉනිම කඩුලු 8 ට 286 යි
හැරී ටෙක්ටර් 56, පීටර් මුවර් 16, ලෝකන් ටකර් 108, ඇන්ඩි මැක්බ්‍රයින් නොදැවී 71, මාක් ඇඩෙයර් 13, , සකිබ් අල් හසන් 26/2, තයිජුල් ඉස්ලාම් 86/4)

- 213

 


අදහස් (0)

කෝඩුකාර ටකර්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.