Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොල්කටා පිල දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට

කොල්කටා පිල දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට

editorial - 2021 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයේදී බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයට සහභාගී වීමේ අවස්ථාව හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද (11 වැනිදා) සමත් විය.

ඒ අනුව ඔවුන් අනිද්දා (13 වැනිදා) අවසන් මහ තරග‍යට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන දෙවැනි තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන විටත් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටියි.

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පිළිමළුන් පිටු දැකීමේ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ශුබ්මන් ගිල් (29) සහ වෙන්කටේෂ් අයියර් (26) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොල්කටා ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පන්දු 18 කදි වාර්තා වූ ගිල්ගේ ඉනිමට හතරේ පහර 4 ක්ද, පන්දු 30 කදී වාර්තා වූ අයියර්ගේ ඉනිමට හයේ පහරක්ද ඇතුළත් විය. නිතිෂ් රානා පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද, සුනිල් නරේන් පන්දු 15 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළහ.

දක්ෂ පන්දු යැවීම්වල නිරත වූ යුස්වේන්ද්‍ර චාහල්, ම‍ොහොමඩ් සිරාජ් සහ හර්ෂාල් පටේල් සිය ඕවර 4 තුළදී ප්‍රතිවාදී පිතිකරුවන්ට අඩු ලකුණු ලබාදෙමින් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුවද, ඔවුන්ට බැංගලෝර් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ‍බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 138 ක් ලබා ගත්තේය. එහිදී බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක විරාට් කෝලි පන්දු 33 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 39 ක් රැස්කළේය. දෙව්දූත් පඩික්කල් (21) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත් විය.

කෝලිගේ කඩුල්ල ‍මෙන්ම බැංගලෝර් කණ්ඩායමේ නම් දැරූ පිතිකරුවන් දෙදෙනකු වන ග්ලේන් මැක්වෙල්ගේ (15) සහ ඒ.බී‍. ඩිවිලියර්ස්ගේ (11) කඩුලුද ඇතුළුව ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගත් සුනිල් නරේන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

බැංග‍ලෝර් රෝයල් චැලේන්ර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 138

(දෙව්දූත් පඩික්කල් 21, විරාට් කෝලි 39, ග්ලේන් මැක්ස්වෙල් 15, ශාබාස් අහමඩ් 13, සුනිල් නරේන් 21/4, ලොකී ෆර්ගියුසන් 30/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19‍‍.4 කදී කඩුලු 6 කට 139

(ශුබ්මන් ගිල් 29, වෙන්කටේෂ් අයියර් 26, නිතිෂ් රානා 23, සුනිල් නරේන් 26, යුස්වේන්ද්‍ර චාහල් 16/2, ම‍ොහොමඩ් සිරාජ් 19/2, හර්ෂාල් පටේල් 19/2)

-036

 


අදහස් (0)

කොල්කටා පිල දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.