Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව්වෝ ඕස්ට්‍රේලියානුවන්ට තලති

කොදෙව්වෝ ඕස්ට්‍රේලියානුවන්ට තලති

editorial - 2021 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (10 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් පිල, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිලට හේඩ්න් වෝල්ෂ් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 140 ක් පමණි. එහිදී සිය ඕවර 4 ලකුණු 29 කට සීමා කළ හේඩ්න් වෝල්ෂ් කඩුලු 3 ක් බිඳහෙළීය.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මිචෙල් මාර්ෂ් පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 54 ක් රැසකළ අතර හේඩ්න් වෝල්ෂ්ගේ පන්දුවක් හමුවේ ඩ්වේන් බ්‍රාවෝ අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑමත් සමග ඔහුගේ ඉනිම නිමාවට පත්විය. පිතිහරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑමද ඕස්ට්‍රේලියාවට විශාල පාඩුවක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශිම්රන් හෙට්මයර් පන්දු 36 කදී ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ජොෂ් හෙසල්වුඩ්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවෙමින් හෙට්මයර් දැවී ගියේය.

ඩ්වේන් බ්‍රාවෝ (නොදැවී 47) සමග එක්වූ ඔන්ඩ්‍රි රසල් (නොදැවී 24) පන්දු 13 කදී ලකුණු 34 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව තවත් ඉහළ දැමීය. පන්දු 34 කට මුහුණදුන් බ්‍රාවෝ හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසූ අතර පන්දු 8 කදී වාර්තා වූ රසල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

ඕස්ට්‍රේලියා පිලේ ප්‍රධානතම පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක්ට එක් කඩුල්ලක් හෝ ලබා නොදෙමින් ඔහුගේ ඕවර 4 තුළ ලකුණු 49 ක් රැස්කිරීමට සමත් වූ කොදෙව් පිතිකරුවෝ ජොෂ් හෙසල්වුඩ්ගේ ඕවර 4 දී ලකුණු 39 ක්ද, ඇඩම් සම්පාගේ ඕවර 4 දී ලකුණු 36 ක් රැස්කරමින් අනුකම්පා විරහිත පිතිහරඹයක නිතර වූහ.  


බටහිර ඉන්දීය කො‍දෙව් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 196
(ලෙන්ඩ්ල් සිමන්ස් 30, ශිම්රන් හෙට්මයර් 61, ඩ්වේන් බ්‍රාවෝ නොදැවී 47, ඔන්ඩ්‍රි රසල් නොදැවී 24)

ඕස්ට්‍රේලියාව - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 140
(මිචෙල් මාෂ් 54,  මොයිසස් හෙන්රික්ස් 19, හේඩ්න් වෝල්ෂ් 29/3, ශෙල්ඩන් කොට්‍රල් 22/2)

 

 

-036


අදහස් (0)

කොදෙව්වෝ ඕස්ට්‍රේලියානුවන්ට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.