
(දමින්ද විජේසූරිය)
පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියට සූදානම් වෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයෝ තිදෙනෙක් විවිධ ආබාධයන්ට ලක්ව සිටිති. මහත් අනපේක්‍ෂිත ලෙසින් මාකස් ස්ටොයිනිස් එක්දින පිටියෙන් සමුගැනීම නිසා තත්ත්වය වඩාත් නරක අතට හැරුණු බැවින් ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියට ඉදිරිපත් කෙරෙන්නේ ඔවුන්ගේ අපේක්‍ෂාවලින් බොහෝ දුරස්ථ වූ එක්දින කණ්ඩායමකි.
එසේ වුවත් 2023 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ වැඩි දෙනෙක් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටිති. ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සිට කෙළින්ම පාකිස්තානය බලා යන්නේ මෙම කණ්ඩායමයි. එබැවින් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරග දෙකම පෙරහුරු තරග දෙකක් ලෙසින් ඕස්ට්‍රේලියානුවෝ සලකති.
ඕස්ට්‍රේලියානු කණ්ඩාමේ නායක පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් සහ මිචෙල් මාෂ් යන තිදෙනාම විවිධ ආබාධයන්ට ලක්ව සිටිති. ඔවුන් වෙනුවට ග්ලෙන් මැක්ස්වෙල්, නේතන් එලිස් සහ ඇඩම් සම්පා කණ්ඩායමට එක්ව සිටින අතර ටෙස්ට් ක්‍රීඩකයන් වන ට්‍රැවිස් හෙඩ් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටිති.
පැට් කමින්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු නායකත්වය ස්ටීවන් ස්මිත්ට පැවරී තිබේ.
එක්දින තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් ලෙසින් මැතිව් ෂෝට් සහ ට්‍රැවිස් හෙඩ් යොදවාගැනීමට ඕස්ට්‍රේලියානුවෝ බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු අසාර්ථක වේ නම් ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් ආරම්භක පිතිකරුවාගේ භූමිකාව බාරගැනීමට සූදානමින් සිටී.
ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය
ස්ටීවන් ස්මිත් (නායකයා), ෂෝන් ඇබට්, ඇලෙක්ස් කේරි, කූපර් කොනලි, බෙන් ඩ්වාර්ෂියුස්, නේතන් එලිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, ස්පෙන්සර් ජොන්සන්, ඒරන් හාඩි, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මානස් ලැබුෂේන්, ග්ලෙන් මැක්ස්වෙල්, තන්වීර් සංගා, මැතිව් ෂෝට්, මිචෙල් ස්ටාක් සහ ඇඩම් සම්පා
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.