Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය ශ්‍රී ලංකාව තලා දමයි

එංගලන්තය ශ්‍රී ලංකාව තලා දමයි

editorial - 2021 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කාඩීෆ් නුවරදී අද (23 වැනිදා) පැවැති පළමු තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම තලා දැමූ එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලබාගත්හ. අනුකම්පා විරහිත පිතිහරඹයක යෙදුණු ජොස් බට්ලර් පන්දු 55 කදී නොදැවී ලකුණු 68 ක් ලබාගනිමින් තරගයේ වීරයා විය.

පහසු ඉලක්කයක් වූවත් ජයග්‍රහණය සොයා ඉක්මන් ගමනක යෙදී සිටි එංගලන්තය ඕවර 5 ක් අවසානයේදී ලකුණු 50 ක් ලබා සිටියේය. ඉතිරි ලකුණු 80 ලබාගැනීමට පන්දු 90 ක් (ඕවර 15 ක්ම) ඉතිරිව තිබිණද, ඕවර 2.5 ක් ඉතිරිව තිබියදීම අපේක්‍ෂිත ඉලක්කය පසුකර ගිය එංගලන්ත කණ්ඩායම තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලබාගත්තේය.

ජොස් බට්ලර් සහ ජේසන් රෝයි දෙදෙනා පන්දුවට පහර දුන්නේ හිතුවක්කාරයන් මෙන් නොව, පළපුරුදු ආරම්භක පිතිකරුවන් මෙනි. ඔවුන් දෙදෙනාගේම ඉනිම ස්ක්වෙයාර් කට්, කවර් ඩ්‍රයිව් සහ පුල් පහර වැනි ක්‍රිකට් පොතේ සම්මත පහර වලින් සැරසී තිබිණ. කෙසේ වෙතත් වනිඳු හසරංග (4-0-12-0) හමුවේ පමණක් තරමක් පරෙස්සමෙන් ක්‍රීඩා කළ පිතිකරුවෝ දෙදෙනා අනෙක් පන්දු යවන්නන්ට රිසි සේ තැලූහ.

ලකුණු 100 වාර්තා කරන විටත් එංගලන්ත පිලට අහිමි වී තිබුණේ එකම කඩුල්ලක් පමණි. එයද ධනුෂ්ක ගුණතිලකගේ අති විශිෂ්ට පන්දු රැකීමක් නිසාය. සිය සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹය දිගටම කරගෙන ගිය ජොස් බට්ලර්ගේ පන්දු 55 ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහරක් ඇතුළත් වී තිබිණ.

නියමිත ඕවර 20 දී ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 129 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම සාර්ථක පිතිහරඹය කළ දසුන් ශානක පන්දු 44 කදී අර්ධ ශතකයක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ගෙන් සාධාරණ සහයෝගක් ඔහුට නොලැබිණ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළද, ශ්‍රී ලංකා පිලට ලැබුණේ භයංකාර ආරම්භයකි.

දෙවැනි ඕවරයේදීම අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගිය අතර යන්තම් ලකුණු 50 ක් පුවරුවට එක්වෙද්දී ඉදිරිපෙළ පිතිකරුවෝ සිව් දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. එක් අන්තයක් අල්ලාගෙන සිටි නායකයා, අදිල් රෂීඩ්ගේ ගුග්ලි පන්දුවකට අසුවූයේ ලකුණු 79 දී පස්වැනි කඩුල්ලත් බිමට දමමිනි. කුසල්ගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමට ලකුණු එකතු වූ ලකුණු 50 න් ලකුණු 39 කම හිමිකරුවා දසුන් ශානක විය. පන්දු 44 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවාගේ ඉනිම අලංකාර හතරේ පහර 3 කින් සහ දැවැන්ත හයේ පහර දෙකකින් සමන්විත වුවද ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව තනිවම ඉහළ දැමීම ඔහුට කළ නොහැකි විය.

කඩුලු 7 කට 129 ක් යනු මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම වි-20 තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි. ශ්‍රී ලංකා ඉනිමේදී මුහුණ දුන් පන්දු 123 න් පන්දු 47 ක් ලකුණු ලබා නොගත් (නිලකුණු) පන්දු විය.


අදහස් (1)

එංගලන්තය ශ්‍රී ලංකාව තලා දමයි
  • p.d goonawardena Thursday, 24 June 2021 09:15 AM

    අපි අපේ තුන් ඉරියව් ලොක්කට තව උසස්වීමක් දෙමු.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.