Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය වේලාසනින්ම වාසිය මිටමොළවා ගනී

එංගලන්තය වේලාසනින්ම වාසිය මිටමොළවා ගනී

editorial - 2021 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජේම්ස් ඇන්ඩසන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ලීඩ්ස්හිදී අද (25 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය පළමු ඉනිම ලකුණු 78 කට සීමා විය.  තරගයේ පළමු දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 120 ක් ලබාගත් එංගලන්තය කල්වේලා ඇතිවම මුල් ඉනිමේ වාසිය මිටමොළවා ගත්තේය. 

මේ වන විට ලකුණු 42 ක වාසියක් අත්කරගෙන සිටින එංගලන්තය සතුව කඩුලු 10 ක් ඉතිරිව තිබේ. තරගයේ තවත් දින 4 ක් ඉතිරිව ඇති බැවින් මෙතැන් සිට තමන්ට රිසි ආකාරයෙන් තරගය පාලනය කිරීමේ හැකියාව එංගලන්තයට ඇත. වසර 5 කට පසුව එංගලන්ත පිලට එක්වූ හසීබ් හමීඩ් (නොදැවී 60) සහ රෝරි බර්න්ස් (නොදැවී 52) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් එංගලන්තයට මෙම වාසිදායක තත්ත්වය අත්කර දුන්හ. 

ඕවර 8 ක් පමණක් යැවූ ඇන්ඩසන් ලකුණු 06 කට කඩුලු 3 ක් දවාගත්තේ ඉන්දීය නායක විරාට් කෝලිගේ කඩුල්ලත් ඇතුළුවය. මෙම ලකුණු 78, ඉන්දීය කණ්ඩායමක් දැවී ගිය අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවන් අතර 9 වැන්නයි. 

ඉන්දියානුවන් ටෙස්ට් ඉනිමකදී දැවි ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඇඩිලේඩ් නුවරදී ඕස්ටේ්‍රලියාව හමුවේ ලකුණු 36 කට දැවී යාමයි. එංගලන්තය හමුවේ ඉන්දීය පිලේ අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන්නේ 1974 වසරේ ලෝඩ්ස්හිදී පැවැති ටෙස්ට් තරගයදී ඉන්දීය පිල ලකුණු 42 කට දැවී යාමයි. 

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා, මන්දාරම් අහසක් පවතිද්දීත්, පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත් නමුත් පැයකටත් අඩු කාලයකදී ඉන්දීය පිලේ කඩුලු 3 ක් ලකුණු 21 කට බිඳවැටී තිබිණ. දවා ආහාරය වන විට කඩුලු 4 කට ලකුණු 56 ක් ලබා සිටි ඉන්දියාව වෙනුවෙන් පැය දෙකක් පුරා පිටියේ සිටි රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය. 

දිවා ආහාරයෙන් පසුව පිට පිටම පන්දු දෙකකදී කඩුලු දෙකක් බැගින් දවාගත් සෑම් කරන් සහ ක්‍රෙග් ඔවර්ටන් ඉන්දීය ඉනිම ලකුණු 78 කට සීමා කළහ. ක්‍රෙග් ඔවර්ටන් අවසන් මොහොතේදී එංගලන්ත කණ්ඩායමට එක්වූයේ මාක් වුඩ් වෙනුවෙනි. ඉන්දියාවේ අවසන් කඩුලු 6 ම ලකුණු 22 කට බිඳ වැටිණු අතර සම්පූර්ණ ඉන්දීය ඉනිමම පැය තුනක පමණ කාලයකට සීමා විය. 

ඉන්දීය පිල වෙනුවෙන් ඉලක්කම් දෙකකින් කියැවෙන ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ රෝහිත් ෂර්මා (19) සහ උප නායක අජින්ක්‍යා රහනේ (18) පමණි. ඉදිරිපෙළ පිතිකරුවන් වන ලෝකේෂ් රාහුල්, චෙටේස්වාර් පුජාරා සහ විරාට් කෝලි තිදෙනාම එක්ව ලබාගත්තේ ලකුණු 8 කි. 

විරාට් කෝලි වසර දෙකකින් ටෙස්ට් ශතකයක් ලබා නැති අතර 2020 සිට ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය වන්නේ යන්තම් ලකුණු 23 කි. කෝලි අවසන් වරට ටෙස්ට් ශතකයක් ලබා මේ වන විට ටෙස්ට් ඉනිම 50 ක් ගතවී තිබේ. 

ලෝඩ්ස් තරගය ලකුණු 151 කින් ජයගැනීමෙන් පසුව ඉන්දීය පිල මෙම තරගයට පිවිසියේ 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගනිමිනි. එහෙත් මෙම තරගයේදී මේ වන විට එංගලන්තයේ ආධිපත්‍යය කොතෙක්ද යත් ඉෂාන් ෂර්මාගේ පළමු ඕවරයේදීම එංගලන්ත පිතිකරුවෝ ලකුණු 9 ක් ලබාගත්හ. එහෙත් ඉන්දීය ඉනිම පුරාම ජේම්ස් ඇන්ඩසන්ගෙන් ඉන්දීය පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 06 කි. 

ඉන්දියාව - පළමු ඉනිම 78 
(රෝහිත් ෂර්මා 19, අජින්ක්‍යා රහනේ 18, ජේම්ස් ඇන්ඩසන් 06/3, ඔලී රොබින්සන් 16/2, සෑම් කරන් 27/2, ක්‍රෙග් ඔවර්ටන් 14/3)

එංගලන්තය  - පළමු ඉනිම කිසිවකු නොදැවී 78

(හසීබ් හමීඩ් නොදැවී 60, රෝරි බර්න්ස් නොදැවී 52)

- 213

 


අදහස් (0)

එංගලන්තය වේලාසනින්ම වාසිය මිටමොළවා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.