Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය ආධිපත්‍යය තහවුරු කරයි

එංගලන්තය ආධිපත්‍යය තහවුරු කරයි

editorial - 2021 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉතා සුළු ලකුණු සංඛ්‍යාවක් ආරක්‍ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හොඳ සටනක් දුන්හ. එහෙත් තමන්ගේ වෘත්තීය නිපුණතාව මැනවින් ප්‍රකට කළ එංගලන්ත ක්‍රීඩකයෝ කාඩීෆ් නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදීත් කඩුලු 5 ක ඉතාම පහසු ජයක් අත්කර ගත්හ. තරගයේ මුල් ඉලක්කය ලකුණු 112 ක් වූ නමුත් වර්ෂාව හේතුවෙන් ඕවර දෙකක් අඩුකිරීමෙන් පසුව එය ඕවර 18 කදී ලකුණු 103 ක් ලෙසින් සංශෝධනය කෙරිණ.

ලයාම් ලිවිංග්ස්ටන් ගැසූ අලංකාර හයේ පහරකින් පිම්මක් පැනගත් එංගලන්ත පිතිකරුවෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී අපේක්‍ෂිත ඉලක්කය පසුකර ගියහ. ඒ සමගම තරගාවලියෙන් 2-0 ක ජයක් අත්කරගත් එංගලන්ත කණ්ඩායම තමන් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ අංක එකේ කණ්ඩායම බව පෙන්වා දෙමින්ම, සීමිත ඕවර ක්‍රීඩාවේදී තමන් සතු ආධිපත්‍යය නැවත වරක් තහවුරු කළේය.

සිය ලකුණු 111 ආරක්‍ෂා කරගැනීම සඳහා කදිම ආරම්භයක් ලබාගත් බිනුර ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර දෙදෙනා විසින් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු හරවා යැවීම හේතුවෙන් එංගලන්ත පිලේත් කඩුලු 3 ක් ලකුණු 30 කට බිඳ වැටිණ. තරගයේ ජය සඳහා එංගලන්තයට අවසන් ඕවර 10 දී ලකුණු 57 ක් අවශ්‍ය වී තිබිණ. එහෙත් පන්දු 48 ක් ඉතිරිව තිබියදී වර්ෂාව ඇද හැළීමෙන් තරගය නතර කෙරිණ.

විස්සයි-20 ක්‍රීඩාව යනු ක්‍රිකට් නොව එල්ලේ යයි වරදවා වටහාගත් ආකාරයන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ හිතුවක්කාරී ලෙසින් පිති හැසිරවූ හෙයින්, කඩුලු 7 ක් අහිමි කරගත් අතර කණ්ඩායමට  එක්වූයේ ලකුණු 111 කි. පිතිකරුවන් හතරේ - හයේ පහර සොයා ගිය නමුත් ශ්‍රී ලංකා ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් පමණි. මුහුණ දුන් පන්දු 124 න් පන්දු 52 ක් නිළකුණු පන්දු විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් එයින් කිසිම ප්‍රයෝජනයක් නම් ගත නොහැකි විය. පන්දු යවන්නා තමන් වෙත දිව එන බව දැක දැකත් ලකුණක් සොයා ගිය අවිශ්ක ප්‍රනාන්දුගේ දුර්වල තීරණය නිසා ධනුෂ්ක ගුණතිලකට සිය කඩුල්ල පූජා කිරීමට සිදුවිය.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ තම පියාගේ (සිම්බාබ්වේ ජාතික කෙවින් කරන්) අඩිපාරේ නොගියා නම් තමන් කෙතරම් දක්‍ෂ පාපන්දු ක්‍රීඩකයකු විය හැකිව තිබුණේද යන්න ඉඟි කළ සෑම් කරන් සිය පාදයෙන් පන්දුව කඩුල්ලට යැවූයේ ධනුෂ්කගේ ඉනිම පන්දු 4 කට පමණක් සීමා කරමිනි. හුක් පහරක් ගැසීමට ගිය අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 6 කට දැවී යාම හේතුවෙන් පන්දු 21 ක් ඇතුළතදී ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

පන්දු 45 කට පසුව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පළමු හතරේ පහර ගැසූ කුසල් මෙන්ඩිස්, නැවතත් සුපුරුදු රිද්මයට පැමිණ ඇති බවට ඉඟි කළේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනඟමිනි. එහෙත් ඊළඟ පන්දුවේදී නායක කුසල් පෙරේරා දැවී ගියේ සිය ප්‍රතිවාදී නායකයාගේ ක්‍රිකට් දිවියේ ඔහුට ලැබුණු වඩාත්ම පහසු උඩපන්දුව තිළිණ කරමිනි.

මාක් වුඩ් පිට පිට පන්දු දෙකකදී කඩුලු දෙකක් දවාගත් හෙයින් මෙම තරගයට පැමිණි නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබාම ආපසු ක්‍රීඩාගාරයට ගියේය. ලකුණු 90 දී හත්වැනි කඩුල්ලත් දැවී යද්දී ඉතිරි වූයේ ප්‍රශ්න දෙකක් පමණි. ඉතිරිව ඇති පන්දු 14 න් ලකුණු කීයක් නම් ලබාගත හැකිද නැතහොත් ඉතිරි කඩුලු 3 රැකගත හැකිද යන්නය. දෙවැනි ප්‍රශ්නයට ලැබුණු පිළිතුර වූයේ ලකුණු 21 ක් යන්නය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගය සෙනසුරාදා (26 වැනිදා) පැවැත්වේ.


අදහස් (0)

එංගලන්තය ආධිපත්‍යය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.