Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්ත ‍කෝඩුකාරයෝ පාකිස්තානය පරදවති

එංගලන්ත ‍කෝඩුකාරයෝ පාකිස්තානය පරදවති

editorial - 2021 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පන්දු යවන්නන්ගේ කැපී‍පෙනෙන දස්කම් හමුවේ සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 52 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සෙනසුරාදා (10 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද එංගලන්තයට හැකි විය.

ඔයින් මෝගන්ගේ  නායකත්වයෙන් යුත් ප්‍රධාන එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළු හත් දෙනකුට කොරෝනා අසාදනය වීමෙන් සම්පූර්ණ කණ්ඩායමම නිරෝධායනයට ලක්කර තිබියදී පාකිස්තානයට මුහුණදීම සඳහා දෙවැනි පෙළ කණ්ඩායමක් තෝරා ගන්නා ලදි. 8 වැනිදා පැවැති පළමු තරගය සඳහා එංගලන්ත පිල පිටියට පිවිසියේ කෝඩුකාරයන් 5 දෙනකු සමගිනි. ආබාධයක් හේතුවෙන් ප්‍රධාන කණ්ඩායමෙන් ඉවත්ව සිටි බෙන් ස්ටෝක්ස් දෙවැනි පෙළ එංගලන්ත කණ්ඩායමේ නායකයා විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 248 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 195 ක් පමණි. එහිදී සවුද් ශකීල් හතරේ පහර 4 ක් සමග පන්දු 77 කින් ලකුණු 56 ක් රැස්කරමින් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලුවිස් ග්‍රෙගරි ලකුණු 44 කට කඩුලු 3 ක් දවාගත්තේ පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල මෙන්ම අවසන් කඩුල්ලද සමගිනි. පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ලුවිස්ට‍ අනගි සහායක් දුන් සකීබ් මොහොමඩ්, ක්‍රෙග් ඔවර්ටන් සහ මැතිව් පාර්කින්සන් කඩුලු 2 බැගින් දවාගත්හ.

 පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් (60) සහ ජේම්ස් විනිස් (56) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හසන් අලී සිය ඕවර 9.2 කදී ලකුණු 51 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය. පන්දු 54 කදී වාර්තා වූ‍ සෝල්ට්ගේ ඉනිමට හතරේ පහර 10 ක්ද, පන්දු 52 කදී වාර්තා වූ වින්ස්ගේ ඉනිමට හතරේ පහර 8 ක්ද ඇතුළත් විය. ලුවිස් ග්‍රෙගරි පන්දු 47 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක්ද, බ්‍රයිඩන් කාර්ස් පන්දු 41 කදි හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


එංගලන්තය - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 247  
(පිලිප් සෝල්ට් 60, ජේම්ස් වින්ස් 56, බෙන් ස්ටෝක්ස් 22, ජෝන් සිම්ප්සන් 17, ලුවිස් ග්‍රෙගරි 40, බ්‍රයිඩන් කාර්ස් 31, හසන් අලී 51/5, හාරිස් රවුෆ් 54/2)

පාකිස්තානය - ඕවර 41 කදී සියලු දෙනා දැවී 195
(බාබර් අසාම් 19, සවුද් ශකීල් 56, ශදාබ් ඛාන් 21, හසන් අලී 31, ශහීන් අෆ්රිඩි නොදැවී 18, ලුවිස් ග්‍රෙගරි 44/3, සකීබ් මොහොමඩ් 21/2, ක්‍රෙග් ඔවර්ටන් 39/2, මැතිව් පාර්කින්සන් 42/2)

 


 

-036


අදහස් (0)

එංගලන්ත ‍කෝඩුකාරයෝ පාකිස්තානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.