Last Update  :  2025-08-15 14:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්ත ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

එංගලන්ත ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

editorial - 2020 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප් ටවුන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 189 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (7 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 438 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 248 ක් පමණි.

සිවුවැනි දිනය වූ ඊයේ (6 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක්කර ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 122 ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු පීටර් මැලන් හතරේ පහර 3 ක් සමග ලකුණු 85 ක්ද, ක්වින්ටින් ඩි’කොක් හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක්ද රැස්කළහ.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස රාත්‍රී මුරකරු පිතිකරු කේෂව් මහරාජ් ලකුණු 2 කට දවාගැනීමට ජේම්ස් ඇන්ඩසන් සමත් විය. ඉන් අනතුරුව නායක ෆෆ් ඩුප්ලෙසි (19) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට පීටර් මැලන් සමත් විය. ඩොමිනික් බේස්ගේ පන්දුවක් හමුවේ ජෝ ඩෙන්ලි අතට උඩ පන්දුවක් දෙමින් ඩුප්ලෙසි දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට තවත් ලකුණු 7 ක් එක්වන විට පීටර් මැලන් දැවී ගියේ සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටෝක්ස් අතට උඩ පන්දුවක් දෙමිනි. ඉන් අනතුරුව පිටියේ එක්වූ ක්වින්ටින් ඩි’කොක් (50) සහ රාසි පැන්ඩර් ඩසන් (17) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ජේම්ස් ඇන්ඩසන් ලකුණු 23 කට කඩුලු 2 ක්ද, ජෝ ඩෙන්ලි ලකුණු 42 කට කඩුලු 2 ක්ද බිඳහෙළුහ.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(ඩොමිනික් සිබ්ලි 34, ජෝ ඩෙන්ලි 38, ජෝ රූට් 35, බෙන් ස්ටෝක්ස් 47, ඔලී පෝප් නොදැවී 61, ජොස් බට්ලර් 29, කගිසෝ රබාඩා 68/3, ඞ්වේන් ප්‍රිටෝරියස් 26/2, වර්නන් පිලැන්ඩර් 46/2, ඇන්රිච් නොට්ජේ 56/2)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 223
(ඩීන් එල්ගා 88, රාසි පැන්ඩර් ඩසන් 68, ක්වින්ටන් ඩි’කොක් 20, වර්නන් පිලැන්ඩර් නොදැවී 17, ජේම්ස් ඇන්ඩසන් 40/5, ස්ටුවට් බ්‍රෝඞ් 38/2, සෑම් කරන් 39/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 391
(සැක් ක්‍රෝව්ලි 25, ඩොමිනික් සිබ්ලි නොදැවී 133, ජෝ ඩෙන්ලි 31, ජෝ රූට් 61, බෙන් ස්ටොක්ස් 72, ජොස් බට්ලර් 23, ඇන්රිච් නොට්ජේ 61/3, කගිසෝ රබාඩා 69/2, කේෂව් මහරාජ් 160/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 248
(පීටර් මැලන් 84, ඩීන් එල්ගා 34, සුබයර් හම්සා 18, ෆෆ් ඩුප්ලෙසි 19, රාසි පැන්ඩර් ඩසන් 17, ක්වින්ටින් ඩි’කොක් 50, බෙන් ස්ටෝක්ස් 35/3, ජෙම්ස් ඇන්ඩසන් 23/2, ජෝ ඩෙන්ලි 42/2)


-036

 


අදහස් (0)

එංගලන්ත ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.