Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International උඩගිය ජයග්‍රහණය පාකිස්තානුවෝ තෙවරක්ම අතහරිති

උඩගිය ජයග්‍රහණය පාකිස්තානුවෝ තෙවරක්ම අතහරිති

editorial - 2021 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මොහොත දක්වාම සිය ධෛර්යය රඳවාගත් කොදෙව් පසුපෙළ පිතිකරුවෝ ජැමෙයිකාවේ සබීනා පිටියේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානය පරදවා කඩුලු 1 ක තියුණු ජයක් කරා කොදෙව් පිල කැඳවාගෙන ගියහ. තරගයේ සිව්වැනි දිනයේදී ලබාගත් මෙම ජයග්‍රහණය නිසා තරග දෙකකින් සමන්විත තරගාවලියේදී අපරාජිත ස්ථාවරයක් ලබාගැනීමට කොදෙව් පිලට හැකිවිය.

ලකුණු 168 ක ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව් පිලේ කඩුලු 7 ක් ඊයේ (15 වැනිදා) තේ පානයට පෙර ලකුණු 114 කට බිඳ වැටිණ. සාර්ථක පන්දු යැවීමක නිරත වූ ශහීන් ෂා අෆ්රීඩි කඩුලු 4 ක් දවාගෙන සිටි අතර කඩුලු රකින්නා වූ ජොෂුවා ද සිල්වා සහ පසුපෙළ පිතිකරුවෝ පමණක් කොදෙව් පිලේ පිහිටට සිටියහ.

දිනයේ අවසන් කොටසේදී පාකිස්තානු පන්දු යවන්නන්ගේ පාලනය ගිළිහී යාමෙන් කොදෙව් පිතිකරුවෝ නිසි ප්‍රයෝජන ගත්හ. පාකිස්තානු ක්‍රීඩකයන් විසින් උඩපන්දු තුනක්ම අතහරින ලද බැවින් අවසන් පිතිකරුවන් දෙදෙනා වූ කෙමර් රෝච් සහ ජේඞ්න් සීල්ස් කොදෙව් පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

රෝච්ගේ උඩපන්දු දෙකක්ම අතහරින ලද අතර හසන් අලීගේ පන්දුවක් හමුවේ ජයග්‍රාහී ලකුණ ලබාගන්නා විට රෝච් නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය. ශහීන් ෂා අෆ්රීඩිගේ පන්දුවකට ලැබුණු ඉතාම පහසු උඩපන්දුවක් ‘ඩීප් ස්ක්වෙයාර් ලෙග්’ හි සිට බිමදැමුවේද අනෙකකු නොව හසන් අලීමය.

තරගයේ සිව්වැනි දිනය අරම්භ වූයේ පාකිස්තානු දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5 ම ලකුණු 35 කට ඇද වැටීමෙනි. ඉලක්කය ලකුණු 168 ක් වූවත් එය අභියෝගාත්මක බව පැහැදිළිවම පෙනෙන්නට තිබිණ.
ඉනිම ආරම්භයේදීම කිරන් පවෙල්, නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සහ නිකෲමා බෝනර් තිදෙනාම පිටියෙන් ඉවත් කළ අෆ්රීඩි, පාකිස්තානු ජය මාවත විවර කර දුන් නමුත් උඩපන්දු අතහැරීම නිසා පාකිස්තානු පිලට ලබාගත හැකිව තිබූ පහසු ජයක් මඟහැරී ගියේය.

පාකිස්තානු දෙවැනි ඉනිමේදී ලකුණු 55 කට කඩුලු 5 ක් දවාගත් ජේඞ්න් සීල්ස්, තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ තරගයේදීම කඩුලු 8 ක් දවාගැනීම වෙනුවෙනි. තවමත් 19 හැවිරිදි ජේඞ්න් සීල්ස්, කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් ලාබාළතම පන්දු යවන්නා ලෙසින්ද වාර්තා පොතට එක්විය.

“මම හිතුවෙ පියවරෙන් පියවර එතැනට යන්නයි. ඒ කියන්නේ ලකුණෙන් ලකුණ ලබාගනිමින් ජයග්‍රහණයට යන්න” යයි තරගයෙන් පසුව කෙමර් රෝච් පැවසීය.

කෙසේ වෙතත් පාකිස්තානු නායක බාබර් අසාම් විවිධ දේ කියමින් තමන්ගේ කණගාටුව වසංකර ගැනීමට උත්සාහ කළේය. එහෙත් තමන්ගේ පැත්තෙන් වූ අතපසුවීම් සිහිපත් කිරීමටද අමතක නොකළේය.

“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලංකාරය මේක තමයි. අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. ඒත් අපි උඩපන්දු රැකගත්තා නම් මේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා” යයිද බාබර් අසාම් කීවේය.


පාකිස්තානය - පළමු ඉනිම 217 යි
(ඉම්රාන් බට් 11, අසාර් අලී 17, බාබර් අසාම් 30, ෆවාඞ් අලාම් 56, මොහොමඞ් රිස්වාන් 23, ෆාහිම් අශ්රෆ් 44, හසන් අලී 14, කෙමර් රෝච් 47/2, ජේඞ්න් සීල්ස් 70/3, ජේසන් හෝල්ඩර් 26/3)

බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 253 යි
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 97, රොස්ටන් චේස් 21, ජර්මේන් බ්ලැක්වුඞ් 22, ජේසන් හෝල්ඩර් 58, ජොෂුවා ද සිල්වා 21, කෙමර් රෝච් 13, මොහොමඞ් අබ්බාස් 43/3, ශහීන් ෂා අෆ්රීඞ් 59/4)

පාකිස්තානය - දෙවැනි ඉනිම 203 යි
(අබිඞ් අලී 34, අසාර් අලී 23, බාබර් අසාම් 55, මොහොසඞ් රිස්වාන් 30, ෆහීම් අශ්රෆ් 20, හසන් අලී 28, කෙමර් රෝච් 30/3, ජේඞ්න් සීල්ස් 55/5)

බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම කඩුලු 9 ට 168 යි
(රොස්ටන් චේස් 22, ජර්මේන් බ්ලැක්වුඞ් 55, ජේසන් හෝල්ඩර් 16, ජොෂුවා ද සිල්වා 13, කෙමර් රෝච් නොදැවී 30, ශහීන් අෆ්රීඩි 50/4, හසන් අලී 37/3)

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)

- 213

 


අදහස් (0)

උඩගිය ජයග්‍රහණය පාකිස්තානුවෝ තෙවරක්ම අතහරිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.