Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාව පරදවති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2023 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 
(ශානුක අරවින්ද පූනේ නුවර එම්.සී.එ. ක්‍රීඩාංගණයේ සිට..)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ‍අද (30 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 242 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානුවෝ ඕවර 45.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පියවරක් පසුපසට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි ඇෆ්ඝනිස්ථානය, අවසන් පූර්ව වටය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු ඉහළ දමාගැනීමටද සමත් විය. එහිදී ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ මාර්ගය තවත් අවහිර වූ අතර ඒ සඳහා ඔවුන් ඉතිරිව ඇති තරග 3 ම ජයගත යුතුව ඇත.

නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හෂ්මතුල්ලා ශහිදි (නොදැවී 58), ‍සිවුවැනි කඩුල්ල වෙනුවෙන් අස්මතුල්ලා ඔමර්සායි (නොදැවී 73) සමග එක්ව පන්දු 104 කදී ලකුණු 111 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහිදී පන්දු 74 කට මුහුණදුන් හෂ්මතුල්ලා, හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 63 කදී වාර්තා වූ අස්මතුල්ලාගේ අර්ධ ශතකය හ‍යේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

ඇෆ්ඝනිස්ථාන ඉනිමේ පළමු ඕවර‍යේ සිවුවැනි පන්දුවේදීම රහ්මනුල්ලා ගුර්බාස්ගේ කඩුල්ල බිඳදැමීමට ඩිල්ෂාන් මධුෂංක සමත් වූ නමුත් ඊබ්‍රහීම් සද්‍රාන් (39) සමග එක්වූ රාමට් ෂා, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එම සම්බන්ධතාව නිමාවට පත් වූයේද ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් දෙමින් සද්‍රාන් දැවී යෑම හේතුවෙනි.

කෙසේ වුවත් ඉන් නොනැවතුණ රාමට් ෂා, නායක හෂ්මතුල්ලා සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 67 කදී තවත් ලකුණු 58 ක් එක්කරමින් ඇෆ්ඝනිස්ථානයට ජයග්‍රහ‍ණයේ බලාපොරොත්තු ගෙන ආවේය. එහෙත් පන්දු 74 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 62 ක් ලබා සිටියදී කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙන් ෂාට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.  

කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථාන නායක හෂ්මතුල්ලා ඔමර්සායිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබාගත්තේය. ලකුණු 185 කට කඩුලු 7 ක් බිඳවැටී තිබියදී ඇන්ජලෝ මැතිව්ස් (23) සමග එක්වූ මහීෂ් තීක්ෂණ (29), අටවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබීය.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 15 ක් ලබා සිටියදී ෆසාල්හක් ෆරූකිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගිය නමුත්, නායක කුසල් මෙන්ඩිස් (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක (46) සමත් විය.

මෙවර තරගාවලියේදී පිට පිටම අර්ධ ශතක 4 ක් ලබා සිටි පැතුම් මෙම තරගයේදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ අස්මතුල්ලා ඔමර්සායිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් අත‍ට උඩ පන්දුවක් දෙමිනි. ඒ වන විට පන්දු 60 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්ව තිබිණි.

පැතුම්ගේ දැවී යෑමෙන් අනතුරුව සදීර සමරවික්‍රම (36) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 57 කදී ලකුණු 50 ක් එක්කිරීමට කුසල් සමත් වුවද, ලකුණු 5 ක් ඇතුළත ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට මුජිබුර් රහමන් සමත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 139 කට කඩුලු 4 ක් ලෙස මහත් අසීරු තත්වයකට පත් විය. චරිත් අසලංකට (22) සහ ධනංජය ද සිල්වාටද (14) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ.

ළහිරු කුමාර සහ කුසල් පෙරේරා වෙනුවට මෙම තරග‍යේදී දුෂ්මන්ත චමීර සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමට කැඳවා සිටි අතර චයිනමන් යවන ක්‍රීඩක නූර් අහමඩ් වෙනුවට මෙම තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක ෆසාල්හක් ෆරූකි ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට කැඳවා සිටියේය.

 

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ගුර්බාස් ප.අස්මතුල්ලා   46
දිමුත් කරුණාරත්න - ක.මු. කළා ප.ෆරූකි     15
කුසල් මෙන්ඩිස් - ඇ.නජිබුල්ලා ප.මුජිබුර්      39
සදීර සමරවික්‍රම - ක.මු. කළා ප.මුජිබුර්          36
චරිත් අසලංක - ඇ.රෂීඩ් ප.ෆරූකි                  22 
ධනංජය ද සිල්වා - ප.රෂීඩ්                            14 
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.නබී ප.ෆරූකි           23
දුෂ්මන්ත චමීර ‍දුවද්දී දැවී ගියා (සද්‍රාන්)            1
මහීෂ් තීක්ෂණ - ප.ෆරූකි                              29
කසුන් රාජිත - දුවද්දී දැවී ගියා (ගුර්බාස්)          5
ඩිල්ෂාන් මධුෂංක - නොදැවී                            0
අතිරේක                                                      11
එකතුව ඕවර 49.3 කදී සියලු දෙනා දැවී       241

කඩුලු වැටීම :
1-22(කරුණාරත්න), 2-84(නිස්සංක), 3-134(මෙන්ඩිස්), 4-139(සමරවික්‍රම), 5-167(සිල්වා), 6-180(අසලංක), 7-185(චමීර), 8-230(තීක්ෂණ), 9-239(මැතිව්ස්), 10-241(රාජිත)

පන්දු යැවීම :
මුජිබුර් රහමන් 10-0-38-2, ෆසාල්හක් ෆරූකි 10-1-34-4, නවීන් උල්හක් 6.3-0-47-0, අස්මතුල්ලා ඔමර්සායි 7-0-37-1, රෂීඩ් ඛාන් 10-0-50-1, මොහොමඩ් නබී 6-0-33-0 ‍


ඇෆ්ඝනිස්ථානය
රහ්මනුල්ලා ගුර්බාස්‍ - ප.ඩිල්ෂාන්                   0
ඊබ්‍රහීම් සද්‍රාන් - ඇ.දිමුත්. ප.ඩිල්ෂාන්             39
රාමට් ෂා - ඇ.දිමුත් ප.රාජිත                          62
හෂ්මතුල්ලා ශහිදි - නොදැවී                          58
අස්මතුල්ලා ඔමර්සායි - නොදැවී                   73
අතිරේක                                                      10
එකතුව ඕවර 45.2 කදී කඩුලු 3 ක් දැවී         242

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් නබී, රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන්, නවීන් උල්හක් සහ ෆසාල්හක් ෆරූකි

කඩුලු වැටීම :
1-00(ගුර්බාස්), 2-73(සද්‍රාන්), 3-131(ෂා)

පන්දු යැවීම :
ඩිල්ෂාන් මධුෂංක 9-0-48-2, කසුන් රාජිත 10-0-48-1, ඇන්ජලෝ මැතිව්ස් 3-0-18-0, දුෂ්මන්ත චමීර 9.2-0-51-0, මහීෂ් තීක්ෂණ 10-0-55-0, ධනංජය ද සිල්වා 4-0-21-0


අදහස් (2)

ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකාව පරදවති
  • Nimal Tuesday, 31 October 2023 12:58 AM

    අපේ ක්‍රීඩකයින්ගේ දස්කම් දිගටම පවත්වාගෙන යාම ට නොහැකිවීම ගැන කණගාටුයි...

    Reply 0       0

    kotiyaa Tuesday, 31 October 2023 09:16 AM

    කලින් එංග්ලන්ඩ් මැච් එක දිනපු වෙලාවේ කියපු කතා ටික මතකද? මැතිව්ස් ආපහු ටීම් එකට ආපු එක ලොකු ශක්තියක්, මැතිව්ස්ගේ අත්දැකීම් ජයග්‍රහණයට ගොඩක් උපකාර වුණා... මැතිව්ස් ආපු එකෙන් ටීම් එකේ හොඳ සමබරතාවයක් ආවා, මැතිව්ස් තමන්ගේ නායකත්ව පලපුරුද්දෙන් ටීම් එකට උපදෙස් දුන්නා. මහේල ටීම් එක හොදට පුහුණු කළා.. මහේල තමන්ගේ අත්දැකීම්වලින් ක්‍රීඩකයෝ නිවැරදි තැනට ගෙනාවා... දැන් කෝ ඒවා..? අන්තිමට බලන කොට හැමෝගෙන්ම කාපු එංගලන්තෙටයි, අපිට පහළින් හිටපු නෙදර්ලන්තෙටයි විතරයි ගහගත්තේ... ඔය ටෝක්ස් දෙන කොටම අපිට හිතුණා ඇෆ්ඝනිස්තානෙන් කන විත්තිය... මහේල තාම උත්සහ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එයාට ඕනේ විදියට හසුරවන්න. එයාට ටීම් එක දිනවන්න බෑ කියලා එයා දන්නෙත් නෑ. අනිත් ඒ අය දන්නේත් නෑ. හරියට ට්‍රේන් වෙන්නේ නැති ප්ලෙය(ර්)ස්ලයි හරියට ට්‍රේන් කරන්නේ නැති කෝච්ලයි, ඕක නොදකින නිලධාරිනුයි ඉන්නකන් ඉතින් වාසනාවට දිනනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. ක්‍රිකට්වල වාසනාවට දිනන එක වෙනස් වෙලා දැන් අවුරුදු විස්සක් විතර. දැන් දිනන්නේ ටැලන්ට් එකට. ටැලන්ට් එකක් නැති අපේ අය හැමදාම වාසනාව දිහා කට ඇරන් බලන් ඉන්නවා. දිනපතා ලොතරැයි ගන්න කියන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.