Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇෆ්ඝනිස්ථානයට ලකුණු 130 ක ජයක්

ඇෆ්ඝනිස්ථානයට ලකුණු 130 ක ජයක්

editorial - 2021 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ සාමූහික දක්සම් හමු‍වේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස ස්කොට්ලන්තයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (25 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 130 ක දැවැන්ත ජයක් ලැබීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායමට මුජිබුර් රහමන්ගේ සහ රෂීඩ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 10.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 60 ක් පමණි.

ස්‍කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජෝජ් මුන්සේ පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් රැස්‍කළේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලදී පන්දු යවන්නකු දැක්වූ හොඳම දක්ෂතාව දැක්වීමට සමත් වූ මුජිබුර් රහමන්, සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 5 ක් බිඳහෙළීය. ඇෆ්ඝනිස්තාන ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රෂීඩ් ඛාන් ඕවර 2.2 ක් යවමින් කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 9 ක් පමණක් ලබා දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 190 ක් රැස්කළේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය සටහන් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ඇෆ්ඝනිස්ථාන නායක මොහොමඩ් නබී ගත් තීරණයට උපරිම සාධාරණයක් කළ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දු 35 කින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් වූහ.

ශෆ්යාන් ශරීෆ්ගේ පන්දුවක් මුවේ ක්‍රිස් ග්‍රේව්ස් අතට උඩ පන්දුවක් දෙමින් මොහොමඩ් ශේෂාඩ් දැවී යෑමත් සමග ඇෆ්ඝනිස්ථාන පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 15 කදී වාර්තා වූ ශේෂාඩ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. පන්දු 30 කට මුහුණදුන් හස්රතුල්ලා සසායි එහිදී  හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් රැස්කළ අතර මාක් වෝට්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් ඔහුටද පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

ඉන් අනතුරුව පිටියේ එක්වූ රාහ්මතුල්ලා ගුර්බාස් (46) සහ නජිබුල්ලා සද්රාන්  (59) ඇෆ්ඝනිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 87 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී ස්කොට්ලන්ත පන්දු යවන්නන්ට එලව එලවා පහරදෙමින් ප්‍රවේගකාරී පිතිහරඹයන්හි නිරත වූ ගුර්බාස්‍සහ සද්රාන් ඇෆ්ඝනිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව 190 සීමාව දක්වා රැගෙන ගියහ.

පන්දු 34 කදී වාර්තා වූ සද්රාන්ගේ 5 වැනි විස්සයි-20 අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ පන්දු 37 කදී වාර්තා වූ ගුර්බාස්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 4 කට මුහුණදුන් නායක මොහොමඩ් නබී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 11 ක් රැස්කළේය.

 

ඇෆ්නිස්තානය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 190
(හස්රතුල්ලා සසායි 44, මොහොමඩ් ශේෂාඩ් 22, රාහ්මතුල්ලා ගුර්බාස් 46, නජිබුල්ලා සද්රාන් 59, මොහොමඩ් නබී නොදැවී 11, ශෆ්යාන් ශරීෆ් 33/2)  

ස්කොට්ලන්තය - ඕවර 20 කදී සියලු දෙනා දැවී 60
(ජෝජ් මුන්සේ 25, ක්‍රිස් ග්‍රේව්ස් 12, මුජිබුර් රහමන් 20/5, රෂීඩ් ඛාන් 09/4)

- 213


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයට ලකුණු 130 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.