Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අසිත ආකර්ශනීය ජයක් නිර්මාණය කරයි
මීර්පූර් ටෙස්ට් තරගය

අසිත ආකර්ශනීය ජයක් නිර්මාණය කරයි

editorial - 2022 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවා ආහාරයෙන් පසුව ආකර්ශනීය පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 07 කට කඩුලු 4 ක් දවාගත් අසිත ප්‍රනාන්දු මිර්පූර් ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය. දිවා ආහාරයට පසුව ඔහු කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශය ලකුණු 169 කට දැවී ගියේ ජයග්‍රහාහී ඉලක්කය ලකුණු 29 ක් තරම් ආසන්නයට ගෙන එමිනි.

අවශ්‍ය ලකුණු 29 ලබාගැනීමට ඕෂධ ප්‍රනාන්දු (නොදැවී 21) සහ දිමුත් කරුණාරත්න (නොදැවී 07) දෙදෙනාට අවශ්‍ය වූයේ ද ඕවර 3 ක් පමණි.

මෙම තරගය ජයගැනීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියත් ජයගත්තේය. වසර 22 කට පසුවත්, ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගාවලියකින් පරාජය නොවී සිටීමේ වාර්තාව තවමත් එලෙසින්ම පවතී.

දෙවැනි ඉනිමේදී ලකුණු 51 කට කඩුලු 6 ක් දවාගැනීම අසිතගේ හොඳම ටෙස්ට් පන්දු යැවීමයි. ශ්‍රී ලංකාවෙන් පිටත පැවැති තරගයකදී, කඩුලු 10 ක් දවාගත් දෙවැනි වේග පන්දු යවන්නා වන අසිත ප්‍රනාන්දුගේ (144/10) දස්කම දෙවැනි වන්නේ 1995 දී නවසීලන්තයේ නේපියර් නුවර පැවැති ටෙස්ට් තරගයදී ලකුණු 90 කට කඩුලු 10 ක් දවාගත් චමින්ද වාස්ගේ පන්දු යැවීමට පමණි.

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, තවමත් 24 හැවිරිදි, අසිත ප්‍රනාන්දුගේ පස්වැනි ටෙස්ට් තරගය මෙයයි.

ලකුණු 141 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම අද පෙරවරුවේදී තරගය ආරම්භ කළේ ලකුණු 34 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳවැටී තිබියදීය. සකිබ් අල් හසන් අවශ්‍යම මොහොතේදී කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටිමින් බංග්ලාදේශය වැටීසිටි අසීරු තත්ත්වයෙන් මුදවා ගත්තද එය තාවකාළික සහනයක් විය.

අද පෙරවරුවේදී මුෂ්ෆිකුර් රහීම් දවාගැනීමට කසුන් රාජිත විසින් යවන ලද පන්දුව කළාතුරෙකින් දැකගැනීමට ලැබෙන අති විශිෂ්ට වේග පන්දුවකි. පිට ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව, රහීම්ගේ පිත්ත ඒ වෙත ඇදී ඒමට පෙරම ගොසින් ඉන්න සොළවාලීය. එහෙත් සකිබ් අල් හසන් (නොදැවී 52) සහ ලිටන් දාස් (නොදැවී 48) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 96 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා, බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 149 ක් ලබා දිවා ආහාරයට ගියේය.

ලකුණු 103 ක් වූ සකිබ් - ලිටන් සම්බන්ධතාවේදී කඩුලු රකින්නා ස්ථාවර පිතිහරඹයක් අනුගමනය කළ අතර සකිබ් ආක්‍රමණයට පිවිසියේය. කසුන් රාජිතගේ ඕවරයකදී පන්දු 3 ක්ම හතරේ සීමාවෙන් එපිටට යැවූ සකිබ්, සිය ජ්‍යෙෂ්ඨ පිතිකරුවාට පෙර අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

දිවා ආහාරයෙන් පසු පළමු අඩහෝරාවේදී තරගය තනි අතින් ගෙන නොපිටට කරකැවූ අසිත ශ්‍රී ලංකාවට ජයග්‍රාහී මාවත විවර කර දුන්නේය.

තණතීරුව දඟ පන්දු යවන්නන්ට වාසිදායක යයි බලාපොරොත්තු වුවද, ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය ගෙන ආවේ වේග පන්දු යවන්නන් වන කසුන් රාජිත (104/7) සහ අසිත ප්‍රනාන්දු (144/10) දෙදෙනාත්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් කිහිප දෙනාත්ය.

 

 - 213


අදහස් (0)

අසිත ආකර්ශනීය ජයක් නිර්මාණය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.