Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අසාම් - රිස්වාන් ඉන්දියාව රිදවති

අසාම් - රිස්වාන් ඉන්දියාව රිදවති

editorial - 2021 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියානුවන් කිසිදා අපේක්‍ෂා නොකළ ඉරණමක් උරුම කරදුන් බාබර් අසාම් සහ මොහොමඞ් රිස්වාන් දෙදෙනා ඉන්දීය පන්දු යවන්නන්ට රිසිසේ තලමින් ඩුබායි නුවරදී අද (24 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගයේදී කඩුලූ 10 ක විශිෂ්ට ජයක් කරා පාකිස්තානු කණ්ඩායම කැඳවාගෙන ගියහ. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 152 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ බාබර් අසාම් සහ මොහොමඞ් රිස්වාන් දෙදෙනා පන්දු 13 ක් ඉතිරිව තිබියදීම තරගය නිමා කළහ.
 
ප‍්‍රහාරාත්මක  ඕවර 6 නිමාවන තුරුත් කඩුලූ ආරක්‍ෂා කරගත් බාබර් අසාම් සහ මොහොමඞ් රිස්වාන් එතැන් සිට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අභීත ගමනකට මුල පිරූහ. අපේක්‍ෂිත ලකුණු වේගය රඳවා ගනිමින් පන්දු රකින්නන් අතර හිදැස් අතරින් පන්දුව හතරේ සීමාව කරා යැවූ මෙම පිතිකරුවෝ දෙදෙනා ඉන්දිය පන්දු යවන්නන්ට අවස්ථාවක් නොදීම තරගයේ පාලනය සියතට ගත්හ.

ඉනිමේ අඩක් නිමාවන විටත් ඉන්දීය නායක විරාට් කෝලිගේ නළලත රැළි නංවමින් සිටි බාබර් අසාම් සහ මොහොමඞ් රිස්වාන් මුහුණ දුන්  ඕවර 10 කදී ලකුණු 71 ක් පාකිස්තානු පිලට එක් කළහ. ඉන්දියානුවන් කිසිදා අපේක්‍ෂා නොකළ ඉසව්වකට තරගය ඇදගෙන ගිය ඔව්හු 18 වැනි  ඕවරයේදී පන්දු 5 කින් ලකුණු 17 ක් උදුරා ගනිමින් තම කණ්ඩායම ජය ටැඹ කරා ගෙන ගියේ හතරේ පහර 12 කින් සහ හයේ පහර 5 කින් ඉන්දීය පන්දු යවන්නන්ට සංග‍්‍රහ කරමිනි.

ආරම්භයේ සිටම පාකිස්තානු පන්දු යවන්නන්ගේ බුරුළක් නොමැති පීඩනයට මුහුණ දුන් නමුත් ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටි විරාට් කෝලිගේ පිතිහරඹයට ස්තුති වන්නට,  ඕවර 20 ක් නිමාවේදී ඉන්දියානුවෝ කඩුලූ 7 කට ලකුණු 151 ක් ලබාගත්හ. පන්දු 49 කට මුහුණ දුන් විරාට් කෝලි හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කරමින් 19 වැනි  ඕවරය දක්වාම කඩුල්ලේ රැඳී සිටියේය.

මුහුණ දුන් පළමු පන්දුවේදීම විස්සයි-20 විශේෂඥයා වන රෝහිත් ෂර්මා දැවී ගිය නමුත් සටනට පිළිපන් නායක කෝලි පිතිකරුවකු වශයෙන් තමන් සතු ආධිපත්‍යය ඉනිම පුරාම පතුරුවමින් සිටියේය.  රෝහිත් ෂර්මා දැවී යාමෙන් පසුව සූර්යකුමාර් යාදව් සමග එක්වූ ඉන්දීය නායකයා ලකුණු පුවරුවේ ඉලක්කම් ඉදිරියට කරකවමින් සිටි අතර ආක‍්‍රමණයේ වගකීම කඩුලූ රකින්නා වූ රිෂාබ් පාන්ට්ට පැවරීය.

කෝලිගේ මූලික අරමුණ වී තිබුණේ සිය කඩුල්ල ආරක්‍ෂා කරගැනීමයි. එය සාර්ථක කරගත් ඉන්දීය නායකයා තරගයේ සිසිල් පැන් විවේකය වන විට ( ඕවර 10 ක් නිමාවේදී) පාකිස්තානු ආක‍්‍රමණය තරමක් මෙල්ල කරගැනීමට සමත්ව සිටියේය.

15 වැනි  ඕවරය දක්වාත් ආක‍්‍රමණයට යන්නේද නැතහොත් ආරක්‍ෂා වන්නේද යන අන්ත දෙක මැද අතරමංව සිටි ඉන්දියානුවෝ එතැන් සිට අවසන් පන්දු 30 දී ලකුණු 51 ක් ලබාගත්හ.


ඕවර 20 යි - ඉන්දියාව කඩුලූ 7 ට 151 යි
(විරාට් කෝලි 57 යි, සූර්යකුමාර් යාදව් 11, රිෂාබ් පාන්ට් 39, රවීන්ද්‍ර ජදේජා 13, හර්දික් පාණ්ඩ්‍යා 11, ශහීන් ෂා අෆ්රීඩි 31/3, හසන් අලී 44/2)

ඕවර 17.5 යි - පාකිස්තානය කිසිවකු නොදැවී 152 යි
(බාබර් අසාම් නොදැවී 68 යි, මොහොමඞ් රිස්වාන් නොදැවී 79 යි)

- 213


අදහස් (0)

අසාම් - රිස්වාන් ඉන්දියාව රිදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.