Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අසලංක - භානුක ශ්‍රී ලංකාවට ‍ජය ගෙනෙති

අසලංක - භානුක ශ්‍රී ලංකාවට ‍ජය ගෙනෙති

editorial - 2021 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණ‍යේ සිට...)

චරිත් අසලංකගේ සහ භානුක රාජපක්ෂගේ විශිෂ්ඨ පිතිහරඹයන් හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස බංග්ලාදේශයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරග‍යෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව තවදුරටත් විස්සයි-20 ලෝක කුසලාන තරගවලදී බංග්ලාදේශයට එරෙහිව 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගැනීමටද ශ්‍රී ලංකාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී සටන්කාමී පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක පන්දු 49 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා රැගෙන ගියේය. මෙය අසලංකගේ හොඳම විස්සයි-20 ඉනිම මෙන්ම මංගල අර්ධ ශකය ලෙසද සටහන් විය.

පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ (1) කඩුල්ල බිඳ දැමූ නසුම් අහමඩ්, ආරම්භයේදීම ශ්‍රී ලංකා ‍කණ්ඩායම පීඩනයට පත්කිරීමට උත්සහ ගත්තේය. එහෙත් එම පීඩනය යළිත් බංග්ලාදේශ කණ්ඩායම දෙසට හැරවූ අසංලක, තෙවැනි ඕවරයේදී අහමඩ්ට ඩීප් එක්ට්‍රා කවර් කළාපයට ඉහළින් සහ ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් දැවැන්ත හයේ පහර 2 කින් සංග්‍රහ කළේය.

සෙසු ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සිංක (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගු අසලංක, ඉන් නොනැවතී භානුක රාජපක්ෂ (53) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. එහිදී පන්දු 31 කට මුහුණුදුන් භානුක හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය සැරසූවේය.  

පැතුම්ගේ දැවීයෑමෙන් අනතුරුව පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු මුහුණදුන් තෙවැනි පන්දුවේදීම සකීබ් අල් හසන් හමුවේ දැවී ගියේය. ඕවර 8 ක් අවසානයේ ලකුණු 71 කට එක් කඩුල්ලක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව එම දැවී යෑමත් දෙකත් සමග තවත් පන්දු 4 ක් ඇතුළත ලකුණු 71 කට කඩුලු 3 ක් බවට පත්විය. වනිඳු හසරංගට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබාදෙමින් අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අනුගමනය කළ උපක්‍රමය, මෙම තරගයේදී යළිත් ක්‍රියාවට නැංවූ නමුත් වනිඳුට (6) වැඩි වේලාවක් පි‍ටියේ රැදී සිටීමට නොහැකි විය.

අෆීෆ් හොසේන් යැවූ 13 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී භානුක ලබාදුන් උඩ පන්දුවක් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයේදීද, මුස්තෆිසුර් රහමන් යැවූ 15 වැනි ඕවරයේ ‍තෙවැනි පන්දුවේදී අසලංක ලබාදුන් උඩපන්දුවක් ස්වීපර් කවර් කළාපයේදීද ලිටන් දාස් විසින් බිම දමනු ලැබීය. එම අවස්ථාවන්හිදී භානුක ලකුණු 14 ක්ද, අසලංක ලකුණු 63 ක්ද බැගින් ලබා සිටියහ. තරමක් සෙමින් ඉනිම ඇරඹූ භානුක, මොහොමඩ් ශයිෆුඩීන් යැවූ 16 වැනි ඕවයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් රැස්කරමින් සිය ප්‍රහාරය ආරම්භ කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය මොහොමඩ් නයීම්ගේ (62) සහ මුෂ්ෆිකුර් රහීම්ගේ (නොදැවි 57) දක්ෂ පිතිහරඹයන් හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තේය. ලකුණු 65 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ ඉනිම සවිමත් කිරීමට නයීම් සහ මුෂ්ෆිකුර් සමත් වූහ.

ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි නයීම් 16 වැනි ඕවරය දක්වා පිටියේ රැදෙමින් අගනා පිතිහරඹයක නිතර වූ අතර පන්දු 52 කදී වාර්තා වූ ඔහුගේ සිවුවැනි විස්සයි-20 අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය. බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබාදෙමින් නයීම් දැවී යෑමත් සමග බංග්ලාදේශ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය.

එහෙත් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මුෂ්ෆිකුර්, පන්දු 36 කට මුහුණදෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ ‍කළේය. ළහිරු කුමාරගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවෙමින් සිවුවැනි කඩුල්ල ලෙස අෆීෆ් හොසේන් ලකුණු 7 කට දැවී ගියද එය බංග්ලාදේශ කණ්ඩායමට එතරම් පාඩුවක් නොවීය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු යැවූ වේගවත්ම පන්දුව ලෙස දෙවැනි ඕවරයේ 5 වැනි පන්දුව පැයට කිලෝ මීටර් 150 ක වේගයකින් යැවීමට‍ දුෂ්මන්ත චමීර සමත් වුවද, සෙසු පන්දු යවන්නන්ට සාපේක්ෂව ඔහු බංග්ලාදේශ පිතිකරුවන්ගෙන් දැඩි පහර කෑමකට ලක් විය. දුෂ්මන්තගේ ඕවර 4 තුළදී හතරේ පහර 5 ක්ද සමග සමග ලකුණු 41 ක් රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ, මුල් ඕවර 6 (අධිවේගී ඕවර) තුළදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41 කට සීමා කරමින් කඩුල්ලක් දවාගත්හ. එහිදී ප්‍රතිවාදී පිතිකරුවන්ට පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යැවිය හැකි වූයේ 4 වරක් පමණි. එහෙත් චරිත් අසලංක යැවූ 7 වැනි ඕවරයේදී හතරේ පහර 3 ක් සමග ලකුණු 14 ක් රැස්කරමින් බංග්ලාදේශ පිතිකරුවෝ හිස එසවූහ.

අධිවේගී ඕවර 6 නිමාවීට එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ආරම්භක පිතිකරු ලිටන් දාස් පිටියෙන් ඉවත් කිරීමට ළහිරු කුමාර සමත් විය. මිඩ් ඕන් කළාප‍යේ පන්දු රකිමින් සිටි දසුන් ශානක අතට පහසු උඩ පන්දුවක් ලබාදෙමින් දැවී යන විට දාස් ලබා සිටියේ ලකුණු 16 ක් පමණි. එම දැවී යෑමන් අනතුරුව දාස් සහ ළහිරු අතර බහින්බස් වීමක් ඇතිවූ අතර විනිසුරුවන්ගේ සහ සෙසු ක්‍රීඩකයන්ගේ මැදිහත්වීම මත එය සමතයකට පත් විය.

තෙවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි බංග්ලාදෙශ කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන සකීබ් අල් හසන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට චාමික කරුණාරත්න ඉඩක් ලබා නොදුන්නේය. පා ඉන්න කෙළින් පැමිණි පන්දුවක‍ට හරවා පහරක් ගැසීමට යෑමේදී මුළුමුණින්ම පරාජයට පත්වූ සකීබ්ට (10), සිය කඩුල්ල පූජා කරමින් වේලාසනින්ම ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සිදුවිය.

නෙදර්ලන්ත තරගය අතරතුරදී ඇලපතේ ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ මෙම තරගයේදී ‍විවේක ගන්වා ඇති අතර ඔහු වෙනවට වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් 5 දෙනෙකු ‍සහ එක් දඟ පන්දු යවන්නකු සමගින් මෙම තරගටයට ක්‍රීඩා කරයි.

බංග්ලාදේශ කණ්ඩායමද එක් වෙනස්කමක් සමගින් අද තරගය‍ට සහභාගි වන අතර පෙර තරග සඳහා ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් වෙනුවට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක නසුම් අහමඩ් අද තරගය සඳහා කැඳවා ඇත. ඒ අනුව ඔවුහු වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරග වදියි.

 


අදහස් (0)

අසලංක - භානුක ශ්‍රී ලංකාවට ‍ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.