Last Update  :  2025-10-27 19:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අලානාගේ ආක්‍රමණය දකුණු අප්‍රිකානුවන් නන්නත්තාර කරයි
කාන්තා ලෝක කුසලාන - 2025

අලානාගේ ආක්‍රමණය දකුණු අප්‍රිකානුවන් නන්නත්තාර කරයි

editorial - 2025 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටවූ අලානා කිං (18/7) ගේ පන්දු යැවීම හේතුවෙන් ඉන්දියාවේ ඉන්දෝර් නුවරදී අද (25 වැනිදා) පැවැති තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තාවෝ සමත් වූහ. මෙම ජයත් සමගින් කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානුවන්ගේ තරග නිමාවිය. 

මේ මස 30 වැනිදා නවී-මුම්බායි හිදී පැවැත්වෙන අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියානු කාන්තාවෝ, ඉන්දීය කාන්තාවන් මුණගැසෙති. 

කාන්තා එක්දින තරඟවලදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කළ හොඳම පන්දු යැවීම සටහන් කළ අලානා කිං, කාන්තා ලෝක කුසලාන තරගයකදී පළමු වතාවට කඩුලු 7 ක් දවාගත්තාය. දකූණතින් පා දඟ පන්දු යවන අලානා කිං කළ සුවිශේෂී පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 26 ක් ඉතිරිව තිබියදී ලකුණු 97 කට දැවී ගියේය. 

එක්දින ලෝක කුසලාන තරගාවලියකදී වාර්තා වූ හොඳම පන්දු යැවීම් අතරේ අලානා කිං දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේම ග්ලෙන් මැග්‍රාත්ට පමණි. ග්ලෙන් 2003 ලෝක කුසලාන තරගාවලියේදී නැමීබියාවට එරෙහිව ලකුණු 15 කට කඩුලු 7 ක් දවාගත්තේය. 

සිය පළමු පන්දු 15 ඇතුළ ලකුණක්වත් නොදී කඩුලු හතරක් දවාගත් කිං, තරගයේ මුල් අවධියේම ලබාගත් ග්‍රහණය නිසා දකුණු අප්‍රිකාවනුවන්ට සෙළවෙන්නට වත් නොහැකි විය.

යන්තම් ඕවර 12 ක් නිමාවන විටත් දකුණු අප්‍රිකානු කාන්තාවන්ගේ කඩුලු 4 ක් ලකුණු 46  කට බිඳ වැටී තිබිණ. ඕවර 7 ක් (පන්දු 42 ක්) යැවූ අලානාගෙන් ලබාගත හැකිවුයේ ලකුණු 18 ක් වූවත් ඒ වෙනුවෙන් පහර 9 ක් යෙදවීමට දකුණු අප්‍රිකානු කාන්තාවන්ට සිදුවිය. ඇය යැවූ පන්දු 42 න් පන්දු 33 ක්ම නිලකුණු පන්දු වූ අතර ඇයගේ කඩුලු 7 න් කඩුලු 4 ක් ම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ඒවා විය. 

මෙම තරගාවලියේ මහත් පෙරළිකාර කණ්ඩායමක් ලෙසින් දකුණු අප්‍රිකානුවන් ඉදිරියෙන් සිටින නමුත් අද තරගයේදී යළි සිහිපත් වූයේ ඔවුන් එංගලන්තයට එරෙහිව පැවැති ආරම්භක තරගයේදී ලකුණු 69 කට දැවී යාමයි. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය නැවත වරක් අවසන් පූර්ව වටයේදී මුණගැසීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. 

ඕස්ට්‍රේලියානුවන්ට තිබූ ඉලක්කය පහසු වුවත් ඔව්හු ලකුණු 11 ක් ඇතුළත කඩුලු 2 ක් අහිමිකර ගත්හ. එහෙත් එයින් ඕස්ට්‍රේලියානුවන්ට තර්ජනයක් පෙන්නුම් කළේ නැත. ජෝර්ජියා වෝල් සහ බෙත් මූනි පන්දු 65 කින් ලකුණු 76 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර එතැන් සිට තිබුණේ පහසු ගමනකි. 17 වැනි ඕවරයේදී ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය සම්පූර්ණ කළේ ඕවර 33 ක් ඉතිරි කරමිනි. 


දකුණු අප්‍රිකානු කාන්තාවෝ - ඕවර 24 කදී සියලු දෙනා දැවී 97 යි
(ලෝරා වූල්වාර්ත් 31, සිනාලෝ ජෆ්ටා 29, නඩීන් ඩි’ක්ලර්ක් 14, අලානා කිං 18/7)

ඕස්ට්‍රේලියානු කාන්තාවෝ - ඕවර 16.5 කදී කඩුලු 3 ට 98 යි
(ජෝර්ජියා වොල් නොදැවී 38, බෙත් මූනි 42, ඇනබෙල් සදර්ලන්ඩ් නොදැවී 10)

ඡායාරූපය - අයි.සී.සී අනුග්‍රහයෙනි 


අදහස් (0)

අලානාගේ ආක්‍රමණය දකුණු අප්‍රිකානුවන් නන්නත්තාර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.