Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අපරාජිත ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් තුරුම්පුවක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

අපරාජිත ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් තුරුම්පුවක්

editorial - 2023 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ සිට..)

ඉන්දියාවේ අපරාජිත වාර්තාව බිඳ දැමීමේ බලාපොරොත්තුවෙන් මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංග‍ණයේදී හෙට (2 වැනිදා) තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකාව, තමන් සතුව ඇති අවසන් තුරුම්පුවත් එළියට ඇදීමේ සූදානමකින් සිටින බව වාර්තා වේ. ඒ ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී ඉන්දීය කණ්ඩයමේ ප්‍රබල පිතිකරුවන් පස්දෙනකුවම දවාගත් ‍දුනිත් වෙල්ලාලගේ යළිත් කණ්ඩායමට කැඳවමිනි.

“අපි දන්නවා දුනිත් කියන්නේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට ඉතාමත් හොඳ අනගාතයක් තියෙනවා. ඉදිරියෙදි කණ්ඩායමට ‍ඔහුගෙන් ලොකු දායකත්වයක් ලැබේවි. ඒත් ඔහු මේ තරගයට ක්‍රීඩා කරනවද කියන එක මට දැන්මම කියන්න බැහැ. මොකද අපි ක්‍රීඩා කරන කණ්ඩායම මොකක්ද කියලා තවම තීරණය කරලා නැහැ.” යැයි තරගයට පෙර දිනයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා, දුනිත්ගේ ආගමනය පිළිබඳව නිශ්චිත පිළිතුරක් දීමෙන් වැළකී සිටියේය.

කෙසේ වුවත් නායක රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ලොකේෂ් රාහුල් සහ හර්දීක් පාණ්ඩ්‍යා දවාගනිමින් එම ආසියානු කුසලාන තරගයේ වීරයා බවටද පත්වූ වෙල්ලාලගේ, මෙම තරගයට කැඳවීම කෙරෙහි කණ්ඩායමේ කළමනාකාරීත්ව අවධානය යොමුකරමින් සිටින බව දැනගන්නට ලැබේ. මෙම ‍තරගයේදී ඔහු කණ්ඩායමට ඇතුළත් වුවහොත් දිගින් දිගටම අසාර්ථක ‍වෙමින් සිටි ධනංජය ද සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් අහිමිවන බවද වාර්තා වේ.

ඊට හේතුව තරගය සඳහා යොදාගැනීමට නියමිත තණතිල්ලේ සැලකිය යුතු තණකොළ ‍ප්‍රමාණය දක්නට ලැබීමය. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරග දෙකට ක්‍රීඩා කළ ආකාරයෙන්ම විශේෂඥ වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් මෙම තරගය සඳහාද පිවිසෙනු ඇතැයි බලාපො‍රොත්තු විය හැකිය. වේග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමේ සිටීම එහිදී ශ්‍රී ලංකාවට තවත් වාසිදායක වනු ඇත.

කලකට පසුව ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්ථාන තරගයේදී සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අසමත් වුවද, මෙම තරගයේදී තවදුරටත් දුෂ්මන්ත චමීරට අවස්ථාව ලබාදීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කර ඇත. ඒ අනුව ඩිල්ෂාන් මධුෂංක සහ කසුන් රාජිත සමගින් ඔහු මෙම තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු බළෑණිය ශක්තිමත් කරනු ඇත. විස්සයි-20 තරග 5 කදීම රෝහිත් ශර්මාගේ කඩුල්ල දවාගැනීමට සමත්ව තිබීමද මෙම තරගයේදී චමීරගේ මානසික ඒකාග්‍රතාව වර්ධනය වීමට හේතු වනු ඇත.

“ඩිල්ෂාන් මධුෂංක මේ තරගාවලියෙදි හුඟක් හොඳින් පන්දු යවමින් ඉන්නවා. මේ වෙනකොට තරගාවලියෙ වැඩිම කඩුලු ලාභීන් අතර ඔහුගේ නමත් තිබීමෙන් එය තවදුරටත් තහවුරු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කසුන් රාජිත පන්දු යවන ආකාරයෙන් ඩිල්ෂාන්ට කඩුලු දවාගන්න තියෙන අවස්ථාව තවත් පහසු වෙනවා. ඔවුන් දෙදෙනා අතරට චමීරත් ආවාම අපිට හොඳ වේග පන්දු යැවීමේ සංයුතියක් තියෙනවා කියලා මම හිතනවා.” යැයිද සිල්වර්වුඩ් මහතා පැවසීය.

වෙල්ලාලගේ කණ්ඩායමට ඇතුළත් වුවහොත්, ඔහුගෙන් වැඩි ඕවර සංඛ්‍යාවක් යවාගත හැකි වන බැවින් ඒ තුළින් කණ්ඩායමේ සිටින සෙසු දඟ පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ මත ගොඩනැගෙන පීඩනයද තරමක් දුරට සමනය වනු ඇත. එංගලන්තයට ‍එරෙහිව පැවැති තරගයේදී මෙන්ම ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති තරගයේදීද කණ්ඩායමේ එකම විශේෂඥ දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කළ තීක්ෂණට එම තරග‍දෙකේදීම දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරමින් ලබාගත් අත්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීමට තීක්ෂණට මෙම තරගයේදී අනගි අවස්ථාවක් උදාවන නමුත් ඒ සඳහා ඔහු තම කර මතට අනවශ්‍ය පීඩනයක් ආරෝපණය නොකරගෙන ක්‍රීඩා කිරීම වැදගත් වනු ඇත. එබැවින් සිය ‍ප්‍රධානම දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙක් වන වනිඳු හසරංග නොමැතිව ක්‍රීඩා කරන අවස්ථාවලදී ශ්‍රී ලංකා කණ්ඩායම තීක්ෂණට පවරන වැඩ කො‍ටස තරමක් අඩු කළ යුතුව තිබේ.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ කිසිදු වෙනස්කමක් බලාපොරොත්තු විය නොහැකි අතර පෙර තරගයට ක්‍රීඩා කළ ආකාරයෙන්ම පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතය. කෙසේ වුවත් ඇෆ්ඝනිස්ථාන තරගයේදී පිතිහරඹ ලැයිස්තුවේ අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් එහි පියවරක් හෝ දෙකක් ඉහළට ගෙන ඒමේ සූදානමක් පවතින බවද කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ධනංජය ක්‍රීඩා නොකරයි නම් මැතිව්ස්ට නිරායාසයෙන්ම අංක 6 ස්ථානයට පැමිණීමටද අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 167 ක් පවත්වා ඇති අතර ඉන් තරග 98 ක් ජයගැනීමට ඉන්දියාවද, 57 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද සමත්ව ඇත. තරග 11 ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව ඇති අතර එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබේ. එදා මෙදා තුර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ තරග 9 කදී එක්නෙකාට එරෙහිව තරග වැදී ඇති මෙම කණ්ඩායම් දෙක එහිද ජයග්‍රහණය 4 බැගින් ලබා ඇත. විසඳුමකින් තොරව අවසන් වී ඇත්තේ එක් තරගයක් පමණි.

කෙසේ වුවත් 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී එක්දින තරගයකට සහභාගි වී නොමැත. එම තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වෙමින් අනු ශුරතාවට හිමිකම් කී ශ්‍රී ලංකාව, ඉන් අනතුරුව 2017 සහ 2023 වසරවල ක්‍රීඩා කර ඇති විස්සයි-20 තරග දෙකේදීද ඉන්දියාව හමුවේ පරාජයට පත්ව තිබේ.

 

ශ්‍රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් ජනිත්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, දිල්ෂාන් මධුෂංක සහ දුෂ්මන්ත චමීර

ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලොකේෂ් රාහුල්, රවින්ද්‍ර ජදේජා, ශර්ධුල් ඨාකූර්, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, රවිචන්ද්‍රන් අෂ්වින්, ඉෂාන් කිෂන් සහ සූර්යකුමාර් යාදව්

 

(ඡායාරූපය - ළහිරු හර්ෂණ)


අදහස් (1)

අපරාජිත ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් තුරුම්පුවක්
  • Anuruddha Liyanage Thursday, 02 November 2023 08:07 PM

    ක්‍රිකට් ඇති... ලැජ්ජාවක් නැහැ... ගෙදරට ඇවිල්ලා වෙන වැඩක් බලාගන්න...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.