Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණට

ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණට

editorial - 2021 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාගණයේ සිට..)

පන්දු යවන්නන්ගේ අති විශිෂ්ඨ දස්කම් හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නෙදර්ලන්තයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 45 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 7.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

බ්‍රෙන්ඩන් ග්ලෝවර්ගේ පන්දුවක් හමුවේ පෝල් වැන්’මකරීන් අතට උඩ පන්දුවක් දෙමින් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගියද, පසුපසට අඩියක් නොතැබූ කුසල් පෙරේරා පන්දු 24 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 33 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් චරිත් අසලංක ලකුණු 6 ක් ලබා සිටියදී දැවී ගියද, එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට බාධාවක් නොවීය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශාන‍කගේ ආරාධනයෙන්  පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 10 ක් අවසානයේ ලකුණු 44 කට සීමා කිරීමට වනිඳු හසරංග ළහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී නෙදර්ලන්ත පිතිකරුවන් සිවුදෙනෙකුම ලකුණු නොලබා දැවී ගිය අතර පිතිකරුවන් 9 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර ගැනීමටත් පෙර පිටියෙන් ඉවත්ව ගියේය.

විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් දැවීගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා අතරට එක් විය. කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද ශ්‍රී ලංකාව සතුවෙයි. බංග්ලාදේශයේ පැවැති 2014 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තය ලකුණු 39 කට සීමා කරමින් ශ්‍රී ලංකාව එම වාර්තාව පිහිටුවා තිබිණ.
 
දසුන් ශානක, තරගයේ සිවුවැනි පන්දුවේදී ආරම්භක පිතිකරු මැක්ස් ඕ’ඩාවුඩ් දුවද්දී දවාගැනීමකට හසුකර ගත්තේය. තෙවැනි ඕවරය යැවීම සඳහා කැඳවූ මහීෂ් තීක්ෂණ, මුලු ලකුණු සංඛ්‍යාව 20 ක් වන විට සෙසු ආරම්භක පිතිකරුවා වූ ‍ස්ටෙෆාන් මයිබර්ග්ගේ (5) සහ බෙන් කූපර්ගේ (9) කඩුලු බිඳ දමමින් ඔවුන්ට ආපසු ගොස් ක්‍රීඩාගාරයේ සිට තරගය නැරඹීමේ අවස්ථාව උදාකර දුන්නේය.  

එම ඕවරය යැවීමෙන් අනතුරුව පිට ඇල‍පතේ වේදනාවක් හේතුවෙන් තීක්ෂණ පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම පන්දු රැකීමේ නිරත  විය. තීක්ෂණගේ නික්ම යෑමෙන් අනතුරුව පන්දුව අතට ගත් වනිඳු හසරංග, පිතිකරුවන් ‍තිදෙනකුම කඩුල්ල මුවා කිරීමෙ වරදට හසුකර ගනිමින් නෙදර්ලන්තය කරකවා අතහැරියේය.

පස්වැනි ඕවරයේ තෙවැනි සහ අවසන් පන්දු වලදී කොලින් ඇකර්මන් (11) සහ බස් ඩි‘ලීඩි (0) පිටියෙන් ඉවත් කළ වනිඳු, ඉන් නොනැවදී නායක පීටර් සීලර්ගේ ඉනිමද ලකුණු 2 කට සීමා කළේ තරගාවලියට පෙර වහසි බස් දෙඩූ සීලර්ගේ කටට අගුළු දමමිනි. ‍නැබීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමට අපහසු වනු ඇතැයි නෙදර්ලන්ත නායකයා තරගාවලියට පෙර පවසා තිබිණ.

 දෙවැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් නෙදර්ලන්ත පිතිකරුවන්ට ලකුණු 9 ක් ලබාදුන් දුෂ්මන්ත චමීර, හයවැනි ඕවරය ලකුණු 4 කට සීමා කරමින් රොල්ෆ් වැන්’ඩර් මර්ව් ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කළේය. දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් 10 වැනි ඕවරය නිළකුණු ඕවරයක් බවට පත්කළ ළහිරු කුමාර එහි පළමු, තෙවැනි සහ අවසන් පන්දුවලදී කඩුලු 3 ක් බිඳහෙළමින් නෙදර්ලන්ත ඉනිම ලකුණු 44 කට සීමා කළේය.

පෙරහුරු තරග‍වලදී මෙන්ම නැබීබියාවට සහ ‍අයර්ලන්තයට එරෙහිව පැවැති තරග දෙකේදීද ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ දිනේෂ් චන්දිමාල්ට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ අතර ඔහුගේ ස්ථානය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක කැඳවා තිබිණ.


අදහස් (0)

ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.