Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුසල් මෙන්ඩිස් (නොදැවී 74) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 26) දෙදෙනාගේම විශිෂ්ට සටන්කාමීත්වයත් උපක්‍රමශීලී පිතිහරඹයත් නිසා අපහසුවකින් තොරවම ලකුණු 170 ඉලක්කය කරා ළඟා වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ අබුඩාබි නුවරදී අද (18 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී කඩුලු 6 කින් ඇෆ්ඝනිස්ථානය පරාජය කරමින් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්හ.
පසුපෙළ පිතිකරු මොහොමඩ් නබී, අවසන් ඕවර දෙකේදී කළ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසාම ඇෆ්ඝනිස්ථානය නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්තේ ජයග්‍රහණය පිළිබඳ මහත් බලාපොරොත්තු තබාගනිමිනි. එහෙත් මෙන්ඩිස්ලා දෙදෙනාගේ පිතිහරඹය හමුවේ තරගය පරාජය වූ ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට යද්දී ආසියානු කුසලාන තරග 3 කින් දෙකක් ජයගත් බංග්ලාදේශය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.
අබුඩාබි ක්‍රීඩාංගණයට පැමිණ සිටි බංග්ලාදේශ ජාතිකයෝත් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් මහත් උද්දාමයෙන් යුතුව ඔල්වරසන් දුන්හ. බංග්ලාදේශය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ ඇෆ්ඝනිස්ථානු පිල ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීම හේතුවෙනි.
කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා පිටියේ සිටියදී විස්තර විචාරයේ නිරතව සිටි සුනිල් ගවස්කාර් මහතා “මෙතැන දැන් ඉන්නේ කේ. මෙන්ඩිස්ලා දෙන්නෙක්” යයි කීවේය. එහෙත් සුනිල් ගවස්කාර් මහතාට, 1979 ලෝක කුසලාන තරගාවලියේදී දුලිප් මෙන්ඩිස් කළ පිතිහරඹය අමතක වන්නට කාරණාවක් නැත. ශ්‍රී ලංකාව සිය මංගල එක්දින අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කළේ දුලිප් මෙන්ඩිස් එදා එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී නොදැවී ලබාගත් ලකුණු 64 නිසාය.
කමිඳු මෙන්ඩිස් ගාල්ලේ වුවත්, දුලිප් මෙන්ඩිස් මෙන්ම කුසල් මෙන්ඩිස් ද මොරටුවෙන් පැමිණ අන්තර්ජාතික ක්‍රිකට් පිටිය දිග්විජය කළ ක්‍රීඩකයෝ වෙති.
ඇෆ්ඝනිස්ථානයේ පළමු කඩුලු 6 බිඳ වැටෙන තුරුම එය ක්‍රිකට් තරගයකට වඩා ක්‍රිකට් ප්‍රදර්ශනයක් විය. නුවන් තුෂාරගේ පන්දු යැවීමත් කුසල් ජනිත් පෙරේරාගේ උඩපන්දු දෙක සහ දුෂ්මන්ත චමීරගේ උඩපන්දුවත් නැවත නැවත බලන්නට තරම් අලංකාර ක්‍රිකට් ප්‍රදර්ශනයක් විය.
මෙම උඩපන්දු රැකීමත්, පන්දු යැවීමත් හේතුවෙන් 18 වැනි ඕවරය නිමාවන විටත් ඇෆ්ඝනිස්ථානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7 කට 120 ක් ලෙසිනි. නුවන් තුෂාරගේ (18/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්ථානුවන් අමාරුවේ වැටී සිටි බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බොහෝ සැහැල්ලුවෙන් සිටියහ. මොහොමඩ් නබී දුන් උඩපන්දුව දුනිත් වෙල්ලාලගේ අතින් ගිලිහී යාම ගැන කිසිවකුට වගේ වගක් නොතිබිණ.
19 වැනි ඕවරය යැවූ දුෂ්මන්ත චමීරගෙන් ලකුණු 15 ක් උදුරාගත් මොහොමඩ් නබී අවසන් ඕවරය යැවූ දුනිත් වෙල්ලාලගේගෙන් ලකුණු 31 ක් උදුරාගත්තේ හයේ පහර 5 කින් වමත් දඟ පන්දු යවන්නාට සංග්‍රහ කරමිනි. අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගිය මොහොමඩ් නබී පන්දු 22 කින් ලබාගත් ලකුණු 60 ට හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.
උඩපන්දුව ගිළහී යන විට පන්දු 8 කට මුහුණ දී සිටි මොහොමඩ් නබී ලබා සිටියේ ලකුණු 5 ක් පමණි. එහෙත් අවසන් ඕවර දෙකේදී තරගය උඩු යටිකුරු කළ නබී, පන්දු 8 කින් ලකුණු 46 ක් ලබාගත්තේය. එම පන්දු 8 දී නබීගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 4, 4, 4, 2, 1, 6, 6, 6, 0, 6, 6 සහ 1 ක් ලෙසිනි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.