Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව අපරාජිත බව රැකගැනීමේ සටනක

ශ්‍රී ලංකාව අපරාජිත බව රැකගැනීමේ සටනක

editorial - 2021 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට..)

අපරාජිත බව රැකගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් යුුතුව විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනා‍‍ගේ වටයට පිවිසීම සඳහා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සාධකයක් බවට පත්ව ති‍බේ. මූලික වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ දෙරට අතර පැවැත්වෙන තරගය හෙට (21 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මූලික වටය යටතේ සහභාගි වූ මුල් තරග දෙකේදී නැමීබියාවට එරෙහිව කඩුලු 7 ක ජයක්ද, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 70 ක ජයක්ද වාර්තා කළ ශ්‍රී ලංකාව මේ වන විට 3.165 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව උදා වී තිබේ.

එක් තරගය බැගින් ජයගෙන සිටින අයර්ලන්තය සහ නැමීබියාව මේ වන විට පිළිවෙලින් 1.010 ක සහ 1.163 ක ඍණ ශුද්ධ ලකුණු වේගයන් ලබා සිටිති. ඒ හේතුවෙන් දෙරට අතර හෙට පැවැත්වෙන තරගයෙන් කුමන කණ්ඩායම ජය ලැබුවද, ඔවුන් ‍අවසන් 12 දෙනා අතරට පිවිසෙන්නේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම ලෙසිනි.

තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග දෙකේදී අයර්ලන්තය හමුවේ කඩුලු 7 කින්ද, නැමීබියාව හමුවේ කඩුලු 6 කින්ද පරාජයට පත්වූ නෙදර්ලන්තය, එම පරාජයන්‍ගේ අවමනයෙන් මිදීම සඳහා කෙසේ හෝ හෙට තරග‍යේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට සැලසුම් සකස්කරමින් සිටියි. අද දින පස්වරුවේ නෙදර්ලන්ත සිය අවසන් පුහුණු සැසියට සහභාගිවූ අතර නායක පීටර් සීලර් එහිදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට හොඳ තරගයක් දීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තුවෙන් පසුවන බවය.

අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා පැවැති තරගයෙන් පසුව තවත් දිනක් අබුඩාබිහි රැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම, නෙදර්ලන්ත තරගයට පෙර පුහුණු සැසියකට සහභාගි නොවීය. පස්වරුවේ තරගයට සහභාගි වීමේ අරමුණින් හෙට පෙරවරුවේ ඔවුන් අබුඩාබි සිට සාජා බලා පැමිණෙනු ඇත. කෙටි විවේකයකින් පසුව සාජා බලා පැමිණයද, ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගයට පෙර අයර්ලන්ත - නැමීබියා තරගය පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු අපහුතාවකින් තොරවම හෙට තරගයට සුදානම් වීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.  

නැමීබියා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂද, අයර්ලන්තය තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී පුහුණුකරු මිකී ආතර් මහතාද පැවසූ පරිදි තරගයක් දෙකක් අසාර්ථක වූ පමණින් කිසිදු ක්‍රීඩකයකු කණ්ඩායමෙන් ඉවත් කිරීමේ අදහසක්  කණ්ඩායමේ කලමණාක‍ාරීත්වය තුළ නොමැත. එබැවින් මුල් තරග දෙකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම කිසිදු වෙනස්කමකින් තොරව හෙට තරගය සඳහාද ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

එසේ වුවත් පෙරහුරු තරගවලදී මෙන්ම තරගාවලියේ මුල් තරග දෙකේදීද ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ ආරම්භක පිතිකරු කුසල් ‍ජනිත් සහ අංක 3 පිතිකරු දිනේෂ් චන්දිමාල් හෙට තරගයේදී ලකුණු අතරට පැමිණෙනු ඇතැයි කණ්ඩා‍යමේ කලමණාකාරීත්වය බලාපොරොත්තු වෙයි. එම බලාපොරොත්තුව සඵල වුවහොත් එය සුපිරි 12 දෙනාගේ වටයේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මනා උත්තේජනයක් වනු ඇත. එහෙත් එය එසේ නොවුණ‍හොත් සුපිරි 12 දෙනාගේ වටයේදී කුසල්ට කෙසේ වෙතත් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක මෙන්ම උප නායක ධනංජය ද සිල්වාද අවස්ථාවක් ලැබෙන තුරු තවමත් බංකුවේ රැදී සිටීම චන්දිමාල්ගේ පීඩනය තවත් වැඩි කරනු ඇත. කෙසේ වුවත් දිගින් දිගටම චන්දිමාල් කෙරෙහි විශ්වාසය තබන පුහුණුකරු මිකී ආතර් මහතා පවසන්නේ කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා ලෙස සෙසු ක්‍රීඩකයන්ට ක්‍රීඩාංගණට තුළදී මෙන්ම ක්‍රීඩාංගණයෙන් පිටතදීත් ඔහුගෙන් ලැබෙන සහයෝගය කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇති බවය.

මුල් තරග‍ දෙකේදී මෙන්ම හෙට තරගයේදීද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිය දක්ශතා මුවහත් කරගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇත. අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර පැයට කිලෝ මීටර 149 ක වේගයකින්ද, චාමික කරුණාරත්න පැයට කිලෝ මීටර් 141 ක වේගයකින්ද නිවැරදි එල්ලය ඔස්සේ පන්දු යවා තිබීම හෙට තරගයේදි නෙදර්ලන්ත පිතිකරුවන්ට මහත් හිසරදයක් වනු නොඅනු මානය.

 

ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, ‍මහේෂ් තීක්ෂණ, පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ

 

නෙදර්ලන්ත කණ්ඩායම

පීටර් සීලර් (නායක), කොලින් ඇකර්මන්, පිලිප් බොයිස්වේන්, බෙන් කූපර්, බාස් ඩි’ ලීඩ්, ස්කොට් එඩ්වඩ්ස්, බ්‍රැන්ඩන් ග්ලොවර්, ෆ්‍රෙඩ් ක්ලාසෙන්, ස්ටෙපාන් මයිබර්ග්, මැක්ස් ඔඩොව්ඩ්, රයන් ටෙන්ඩස්කාට්, ලොගන් වෑන් බීක්, ටිම් වෑන්ඩර් ගටන්, රොලෆ් වැන්ඩර් මර්වේ, පෝල් වෑන් මිකරෙන්


අදහස් (0)

ශ්‍රී ලංකාව අපරාජිත බව රැකගැනීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.