Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වගකීම පිතිකරුවන්ගේ කරට

වගකීම පිතිකරුවන්ගේ කරට

editorial - 2021 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ එංගලන්තය ඉන්නේ 1 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාව ඇත්තේ 8 වැනි ස්ථානයේය. එහෙත් විසිසයි-20 තරගයකදී ඕනෑම දෙයක් සිදුවිය හැකිය. අවශ්‍ය වන්නේ සුළු අත්වැරදීම් කිහිපයක් නැතහොත් සුවිශේෂී ඉනිමක් හෝ පන්දු යැවීමක් පමණි. 

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර හෙට (23 වැනිදා) පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයේදී නම් අපේක්‍ෂා උඩුයටිකුරු කෙරෙන යමක් වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් සුවිශේෂී දස්කම් අවශ්‍යව තිබේ. මක්නිසාද යත් එංගලන්ත කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව ඒ තරමටම ප්‍රබල වන බැවිනි. 

මේ අතර ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලයිස්තුව එහෙම පිටින්ම සංශෝධනය කිරීමට පුහුණුකරු මිකී ආතර් මහතා පියවර ගෙන තිබේ. මෙතෙක් කලක් ආරම්භක පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාව පිතිකරු ලයිස්තුවේ අතිශය වැදගත් අංක 3 ස්ථානයට කැඳවා තිබේ. ඒ ඉනිම ආරම්භ කිරීමේ වගකීම අවිශ්ක පෙරේරාට සහ ධනුෂ්ක ගුණතිලකට පවරා දෙමිනි. 

බංග්ලාදේශයේදී ඉනිම ආරම්භ කළ ධනුෂ්ක සහ කුසල් පෙරේරා දෙදෙනාම වමත් පිතිකරුවන් වූ බැවින් ප්‍රතිවාදී නායකයාට, අධිවේගී ඕවර 6 දී, පිටිය හසුරුවා ගැනීමේ තරමක සහනයක් තිබිණ. එහෙත් ධනුෂ්ක සහ අවිශ්ක දෙදෙනා වමත් සහ දකුණත් පිතිකරුවන් වන බැවින් කුසල් ජනිත් පෙරේා අංක 3 ට යවා තිබේ. 

“පුහුණු තරග වලදී පෙනුණ විදියට අපේ පිතිකරුවන් හුඟක් දෙනෙක් ලකුණු අතර ඉන්නවා. ඒ නිසා පිතිකරු ලයිස්තුවේ ඉතිරි ස්ථාන කොහොම පුරවන්නද කියලා තරමක ප්‍රශ්නයක් නම් තියෙනවා” යයි කුසල් ජනිත් පෙරේරා අද සවස පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. තරමක් වේගවත් මෙන්ම පන්දුව ඉපිළෙන කාඩීෆ් තණතීරුවේදී පිතිකරුවන් 6 දෙනකු සමගින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙයි. ඔවුන් 6 දෙනාට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකුද කණ්ඩායමට එක්වන බැවින් 8 වැන්නා දක්වා ලකුණු ලබාගැනීමක් අපේක්‍ෂා කෙරේ. 

ශ්‍රී ලංකා කණ්ඩාය මේ වසරේදී මුහුණ දුන් විස්සයි-20 තරග තුනෙන් දෙකක්ම පරාජය විය. කොදෙව් පිල හමුවේ ලද 2-1 ක තරගාවලි පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත ලයිස්තුවේ අඩියක් පහළට වැටිණ. එසේ වුවත් මෙම තරගාවලියේ මුල සිටම ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වූයේ වෙනස්ම සැලැස්මක් ඇතිවය. නිර්භයව තමන්ගේ ක්‍රීඩා රටාවට පිවිසීම එහි එක් අංගයකි. එහෙත් කණ්ඩායම අනතුරේ හෙළමින් හිතුවක්කාර පහර කරා යාමක් එයින් අපේක්‍ෂා නොකෙරේ. 

“එංගලන්තයට හොඳ පිතිකරුවන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන්ගේ තත්ත්වයන් යටතේ ඔවුන්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒත් මේ තත්ත්වයට මුහුණ දීලා, ඔවුන්ව මෙල්ල කරගන්න අපේ පන්දු යවන්නන්ට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා” යයි ශ්‍රී ලංකා නායකයා පැවසීය. එහෙත් පන්දු යවන්නන් මත පීඩනය නොතබා, ලකුණු පුවරුවට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් එකතු කිරීම තමන් ඇතුළු පිතිකරුවන්ගේ වගකීමක් බවද නායකයා පිළිගනී. 

ශ්‍රී ලංකා සංචිතය වේග පන්දු යවන්නන්ගෙන් ගහණය. විටින් විට වර්ෂාව ඇද හැළෙන තත්ත්වයක් තිබියදීත්, මේ ජූනි මාසයේ රාත්‍රිය තරමක් ශීතලය. එබැවින් දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, දසුන් ශානක, චාමික කරුණාරත්න, ඉශාන් ජයරත්න, ධනංජය ලක්ෂාන් සහ ශිරාන් ප්‍රනාන්දු වැනි වේග පන්දු යවන්නන්ට වත්මන් එංගලන්තයේ තත්ත්වය දියට බට ඉබ්බන්ගේ සතුටට නොදෙවනිය.

සංචාරයේදී පැවැති පුහුණු තරග දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවෝ හොඳින් ලකුණු රැස්කළ ද එයින් විද්‍යමාන වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තවමත් තමන්ගේ අපේක්‍ෂිත දස්කම් අතරට අවතීර්ණ වී නැති බවයි. එහෙත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වන්නේ කලක් එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම පවා නියෝජනය කළ චමින්ද වාස්ය. එංගලන්ත පිතිකරුවන් මෙල්ල කරගත හැකි උපාය කිහිපයක්ම තමන් සතුවන බව චමින්ද වාස් කියයි. 

“අපට දක්‍ෂ වගේම තරුණ ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා. එංගලන්තයට මීට ඉස්සරවෙලා මුණගැසුණේ නැති හාදයෝ දෙතුන් දෙනෙක් පෙන්වන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ” යයි චමින්ද වාස් කියා තිබිණ. 

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ විස්සයි-20 තරග තුනෙන් දෙකකදීම ශ්‍රී ලංකා පිල ලබාගත්තේ ලකුණු 131 ක් බැගින් පමණි. ජයගත් දෙවැනි තරගයේදී පමණක් ලකුණු 160 ක් ලබාගත් නමුත් එංගලන්තය වැනි ලෝකයේ අංක එකේ කණ්ඩායමක් හමුවේ විස්සයි-20 තරගයක් ජයගැනීමට ලකුණු 160 ක් ප්‍රමාණවත් නොවේ. 

එංගලන්ත පිලේ සිටින අනුකම්පා විරහිතම පිතිකරුවන් අතුරෙන් අයකු වන ජොස් බට්ලර් පසුගිය දිනෙක කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම “ඉතාමත් භයානක කණ්ඩායමක්” කියාය. 

“මා නිතරම හිතන දෙයක් තමා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කියන එක. ඉතාමත් දක්‍ෂ, සිත්ගන්නා සුළු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවෙන් නිතරම හමුවෙනවා. ඔවුන් තරමක් භයානක කණ්ඩායමක්.... මේ තරගාවලියේදී මා ඔවුන්ගෙන් සුවිශේෂී සටන්කාමීත්වයක් බලාපොරොත්තු වෙනවා” යයිද බට්ලර් පැවසීය. 

බට්ලර්ගේ භයානක ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ කුසල් පෙරේරා සහ වනිඳු හසරංග දෙදෙනායි. 

බට්ලර් එංගලන්තයේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වලට එක්වී සිටින්නේ මාස 6 කට පසුවය. ඊට හේතුව එංගලන්තයේ ක්‍රීඩකයන් වරින් වර විවේක ගැන්වීමේ ප්‍රතිපත්තියයි. කොරෝනා ව්‍යසනයෙන් පසුව ජෛව ආරක්‍ෂක බුබුලු තුළ ක්‍රීඩා කිරීමට සිදුවීමෙන් ක්‍රීඩකයන්ට ඇතිවන මානසික පීඩාව අඩු මට්ටමක තබාගැනීමටත්, ක්‍රීඩකයන්ගේ අපේක්‍ෂා නැවුම්ව තබාගැනීමටත් වරින් වර එංගලන්ත ක්‍රීඩකයන් විවේක ගන්වනු ලැබේ. 

ලැන්කෂයර් පිල වෙනුවෙන් අංක 3 සහ 4 ක්‍රීඩා කරන නමුත් බට්ලර් පසුගියදා කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී තමන් ආරම්භක පිතිකරුවා වීමට කැමති බවයි. 

“ඉනිම ආරම්භ කරන්න තියෙනවා නම් මම කැමතියි. මොකද විස්සයි-20 ක්‍රීඩාවේදී පිතිකරුවකුට තියෙන හොඳම තැන ඒකයි. ඒත් කණ්ඩායමේ අවශ්‍යතා වෙනුවෙන් මුහුණ දෙන්න මා සූදානම්” යයිද බට්ලර් පැවසීය. 

ඔයින් මෝගන් විසින් මෙහෙයවනු ලබන එංගලන්ත කණ්ඩායමට බෙන් ස්ටෝස් සහ ජොෆ්රා ආචර් ඇතුළත් නොවන නමුත් මොයින් අලී, ජොනී බෙයාර්ස්ටෝ, ඩේවිඩ් මැලන්, ක්‍රිස් වෝක්ස්  සහ ජේසන් රෝයි වැනි ප්‍රබල පිතිකරුවෝ ඇතුළත් වෙති. 

 


අදහස් (0)

වගකීම පිතිකරුවන්ගේ කරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.