Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බොක්සිං දින ටෙස්ට් තරගයේ ජය ඕස්ට්‍රේලියානුවන්ට

බොක්සිං දින ටෙස්ට් තරගයේ ජය ඕස්ට්‍රේලියානුවන්ට

editorial - 2019 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මෙල්බර්න්හිදී පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 247 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. එම ජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 487 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240 ක් පමණි. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය ලබාගත් ආරම්භක පිතිකරු ටොම් බ්ලන්ඩල්, එය හතරේ පහර 15 කින් අලංකාර කළේය.

ලකුණු 35 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී හෙන්රි නිකෝල්ස් (33) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බ්ලන්ඩල්, ඉන් නොනැවතී බී.ජේ. වොට්ලින් (22) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ නේදන් ලයන් ලකුණු 81 කට කඩුලු 4 ක් දවාගනිමින් නවසීලන්ත දෙවැනි ඉනිම අඩ පණ කළේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ලයන්ට අනගි සහායක් දුන් ජේම්ස් පැටින්සන් ලකුණු 35 කට කඩුලු 3 ක් බිඳහෙළීය. ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ බ්ලන්ඩල් දැවී ගියේ මාසන් ලැබුස්චේන්ගේ පන්දුවක් හමුවේ නේදන් ලයන් අතට උඩ පන්දුවක් දෙමිනි.

තෙවැනි දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 137 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 31 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය දෙවැනි ඉනිම අත්හිටුවා නවසීලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. ට්‍රැවිස් හෙඞ් (28) දැවී යෑමත් සමග ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම අත්හිටුවීමට නායක ටිම් පේන් තීරණය කළ අතර ඒ වන විට මැතිව් වේඞ් නොදැවී ලකුණු 30 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 467
(ඩේවිඩ් වෝනර් 41, මානස් ලැබුස්චේන් 63, ස්ටීවන් ස්මිත් 85, මැතිව් වේඞ් 38, ට්‍රැවීස් හෙඞ් 114, ටිම් පේන් 79, නීල් වැග්නර් 83/4, ටිම් සවුතී 103/3, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 68/2)

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 148
(ටොම් ලෙතම් 50, ටිම් බ්ලන්ඩල් 15, නීල් වැග්නර් නොදැවී 18, මිචෙල් ස්ටාක් 30/2, පැට් කමින්ස් 28/5, ජේම්ස් පැටින්සන් 34/3)

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 168
(ඩේවිඩ් වෝනර් 38, ජෝ බර්න්ස් 35, මානස් ලැබුස්චේන්ජ් 19, මැතිව් වේඞ් නොදැවී 30, ට්‍රැවිස් හෙඞ් 28, නීල් වැග්නර් 50/3)

නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 240
(ටොම් බ්ලන්ඩල් 121, හෙන්රි නිකෝල්ස් 33, බී.ජේ. වොට්ලින් 22, මිචෙල් සෑන්ට්නර් 27, නේදන් ලයන් 81/4, ජේම්ස් පැටින්සන් 35/3)


-036

 


අදහස් (0)

බොක්සිං දින ටෙස්ට් තරගයේ ජය ඕස්ට්‍රේලියානුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.