Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශ ආරම්භක පිතිකරුට කොරෝනා

බංග්ලාදේශ ආරම්භක පිතිකරුට කොරෝනා

editorial - 2021 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශද්මන් ඉස්ලාම්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙරහුරුවක් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ඇත. මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ පළමු පෙළ තරගාවලියේ පළමු වටයේ තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ඉස්ලාම්ට අහිමිවී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ වන විට ඔහු හුදෙකලා වී සිටීම හේතුවෙනි.

“මේ දිනවල මං හෝටලයේ හුදෙකලා වී සිටිනවා. ඉදිරියේදී මගේ තෙවැනි කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට නියමිතයි. එහි ප්‍රතිඵලය යහපත් වුණොත් මට පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබේවි.” යැයි ඉස්ලාම් පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට නියමිත සියලුම ක්‍රීඩකයන් ඒ සඳහා පෙරහුරුවක් ලබාගැනීමේ අරමුණින් දේශීය පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කළ යුතු යැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉකුත්දා නිවේදනය කළේය.

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති කුසලාන තරගාවලිය සහ බංගා බන්ධු විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සාර්ථකව නිමා කළද, කොරෝනා වසංගතය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉකුත් වසරේ (2020) දේශීය පළමු පෙළ තරගාවලියේ අවසන් අදියර පැවැත්වීමට නොහැකි විය.

ඉකිලියේ ඇතිවූ ආබාධ තත්වයක් නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාවද ඉස්ලාම්ට අහිමි වූ අතර යළිත් තරග බිමට පිවිසීම සඳහා ඔහුට ඩකාහිදී පැවැත්වෙන පළමු පෙළ තරගාවලිය ආරම්භ වන තෙක් බලා සිටීමට සිදුවිය.

බංග්ලාදේශ ටෙස්ට් නායක මොමිනුල් හක්ටද මාර්තු මස 19 වැනිදා මුහුණදුන් පළමු පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හෙළි විය. එහෙත් දෙවැනි පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට අනාවරණ වීම නිසා ඔහුට පළමු පෙළ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමි විය.

ඉකුත් වසරේ (2020) ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සූදානමින් සිටි නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය. එම තරගාවලිය ඔක්තෝබර් 24 වැනිදා සිට යළිත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කළද, ශ්‍රී ලංකාව තුළ දින 14 ක නිරෝධායන කාලයක් ගත කිරීමට සිදුවීම නිසා ඊට සහභාගී වීමෙන් වැලකී සිටි බංග්ලාදේශ කණ්ඩායම, නැවතත් තරගාවලිය කල් දමන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය.

නවතම තරග සැලැස්මට අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වාද, දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 3 වැනිදා දක්වාද පැවැත්වීමට නියමිතය. ඊට සහභාගි වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.  

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ තරග දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


-036

 


අදහස් (0)

බංග්ලාදේශ ආරම්භක පිතිකරුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.