Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා සිට...)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ බංග්ලාදේශයට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වෙන තරගය සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ සහභාගිවය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක අද (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී මහීෂ් තීක්ෂණ ඕවරයකදී ලකුණු 3 කට කඩුලු 2 ක් බිඳහෙළීය. එම ඕවරය යැවීමෙන් අනතුරුව පිට ඇලපතේ ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්ව ගිය අතර නෙදර්ලන්ත ඉනිම නිමාවන තෙක්ම පන්දු රැකීම සඳහා යළිත් පිටියට නොපැමිණියේය.
අපරාජිතව සුපිරි 12 දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේදී සහභාගි වන පළමු තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මූලික වටයේදී නැමීබියාව කඩුලු 7 කින්ද, අයර්ලන්තය ලකුණු 70 කින්ද පරාජය කළ ශ්‍රී ලංකාව ඊයේ පැවැති තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් ලබාගත්තේය.
බංග්ලාදේශය සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී ස්කොට්ලන්තය හමුවේ කඩුලු 6 කින් පරාජය වීමෙන් පසුව ඕමානයට එරෙහිව ලකුණු 26 කද, පැපුවා නිව්ගිණියාවට එරෙහිව ලකුණු 84 කද ජයග්‍රහණ වාර්තා කරමිනි. ‘එ්’ කාණ්ඩය යටතේ තරග වදින සෙසු කණ්ඩායම් 4 ම ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියෙන් පසුවන කණ්ඩායම් වීම නිසා ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයටද හෙට තරගය ඉතා තීරණාත්මක වනු ඇත.
“මහීෂ්ගේ ආබාධය විටින් විට එන එකක්. මං හිතන්නෙ නෑ ඒක වැඩි කාලයක් තියෙයි කියලා. අපි පුලුවන් තරම් උත්සාහ කරනවා එයාව ක්‍රීඩා කරවන්න. ඒත් ගොඩක් දුරට එයා හෙට තරගය ක්‍රීඩා කරන එකක් නෑ. දැන්මම මට ඒ ගැන නිශ්චිතවම මුකුත් කියන්න බැහැ. අද හවසට භෞතචිකිත්සකවරයගේ වාර්තාව ලැබුණට පසුව තමා තීක්ෂණ ගැන අපිට අවසන් තීරණයක් ගන්න වෙන්වෙන.” යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියේය.
යම් හෙයකින් හෙට තරගය සඳහා තීක්ෂණය ක්‍රීඩා නොකරන්නේ නම් ඔහුගේ හිදැස පිරවීම සඳහා වෙනත් දඟ පන්දු යවන්නකුට කණ්ඩායමේ දොරටු විවර වනු ඇත. ඒ අනුව උප නායක ධනංජය ද සිල්වා හෝ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හෙට තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතී. බංග්ලාදේශ කණ්ඩායම සතුවද දක්ෂ දඟ පන්දු බලඇණියක් සිටින බැවින් ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමේ හැකියාවද ඇති ධනංජය ද සිල්වාට හෙට තරගයේදී අවස්ථාව ලබාදෙන්නේ නම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වාසි දායක වනු ඇත.
හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයිද, ඊයේ නෙදර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ කණ්ඩායමේ සිටි පිතිකරු ලයිස්තුවම හෙට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා නායකයා මාධ්‍ය හමුවේදී පැවසීය.
එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
“අපි මේ තරගාවලියට එද්දි ලංකාවෙ හිටපු හොඳම පිතිකරුවන් තමයි අරගෙන ආවෙ. පළාත් තරගාවලියෙදි හොඳටම දක්ෂතා දක්වපු ක්‍රීඩකයො තමයි දැන් අපිත් එක්ක ඉන්නෙ. ඉතින් අපිට මෙතනින් එහාට තවත් ක්‍රීඩකයන් හොයන්න බැහැ. ඉන්න අයගෙන් ලබාගන්න පුලුවන් දේ තමයි අපි ගන්න ඕන.“
“අනිත් ක්‍රීඩකයන්ට හැකි වෙලා තියෙනවා තමන්ට කරන්න පුලුවන් මොනවද කියන එක පෙන්නන්න. ඒ අය වගේම අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්න අදේශ කරන ක්‍රීඩකයොත් ඉදිරියේදි එයාලගෙ හැකියාවන් පෙන්වයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි දසුන් පැවසීය.
මින් පෙර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි-20 ජාත්‍යන්තර තරග 11 ක් පැවැත්වී ඇති තරග ඉන් 7 ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. බංග්ලාදේශයට ජයගත හැකිවී ඇත්තේ තරග 4 ක් පමණි. විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරගවැදී ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් වන අතර එම තරගයේ ජයද ශ්‍රී ලංකාව සතුවී තිබේ.
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 15 ක් පැවැත්වී ඇති අතර එන් තරග 9 ක්ම ජයගෙන ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායමය. දෙවැනි වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 4 කදී ජය ලබා ඇති අතර එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත. ඒ අනුව හෙට තරගයේදී කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ විට පළමුවෙන් පන්දුවට පහර දෙනු ඇතැයි අනුමාන කළ හැකිය.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, මහේෂ් තීක්ෂණ, පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ
බංග්ලාදේශ සංචිතය
මහමදුල්ලා රියාද් (නායක), මොහොමඩ් නයීම්, ලිටන් දාස්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, අෆීෆ් හොසේන්, නුරුල් හසන්, මොහොමඩ් ශයිෆුඩීන්, මෙහෙදි හසන්, ටස්කින් අහමඩ්, මුස්තෆිසුර් රහමන්, ෂොරිෆුල් ඉස්ලාම්, ශමීම් හොසේන්, නසුම් අහමඩ් සහ සෞම්‍ය සාකර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.