Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ධනංජය - අසලංක - භානුක අතර සටනක්

ධනංජය - අසලංක - භානුක අතර සටනක්

editorial - 2021 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද අබුඩාබි සිට..)

මෙවර (2021) විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය අද (18 වැනිදා) නැමීබියාවට එරෙහිව අඩුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.මේ වන විට ලෝක විස්සයි-20 ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව, එහි 19 වැනි ස්ථානයේ පසුවන නැමීබියාවට එරෙහිව විස්සයි-20 තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති පෙරහුරු තරගවලදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4 ක ජයක්ද, පැපුවා නිව්ගිණියාවට එරෙහිව ලකුණු 39 ක ජයක්ද ලැබූ ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව තරගාවලියට අවතීර්ණ වනු ඇත. කෙසේ වුවත් ‍නැමීබියාව තරගාවලියට පිවිසෙන්නේ පෙරහුරු තරගවලදී ඕමානය හමුවේ ලකුණු 32 කින්ද, ස්කොට්ලන්තය හමුවේ ලකුණු 19 කින්ද පරාජය වීමෙන් අනතුරුවය.

මින් පෙර පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 6 දී එක් ශූරතාවක් සහ අනු ශූරතා දෙකක් දිනා සිටින ශ්‍රී ලංකාව පසුගිය කාල වකවානුව තුළදී යම් පසුබෑමක් පෙන්නුම් කළේය. ඒ හේතුවෙන් විස්සයි-20 තරග බිමට තවමත් නවකයන් ලෙස සැලකිය හැකි නැමීබියාවෙන් එල්ල වන අභියෝගය පවා ශ්‍රී ලංකාවට සුලුවෙන් තැකිය නොහැකිය. ලෝක කුසලාන තරගාවලියට පෙර ඕමානයට එරෙහිව පැවැති තරග දෙක ජයගැනීමද ශ්‍රී ලංකාවට හිතූ තරම් පහසු නොවීම ඊට කදිම නිදසුනක් ලෙස සඳහන් කළ හැකිය.

ඕමානයට එරෙහිව පැවැති තරග‍දෙකේදී පිළිවෙලින් නොදැවී ලකුණු 83 ක් සහ 33 ක්ද, බංග්ලාදේශයට සහ පැපුවා නිව්ගිණියාවට එරෙහිව පැවැති පෙරහුරු තරග දෙකේදී පිළිවෙලින් නොදැවී ලකුණු 62 ක් සහ ලකුණු 61 ක්ද රැස්කරමින් දිගින් දිගටම ලකුණු අතර සිටි අවිෂ්ක ප්‍රනාන්දු, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසයක් තැබිය හැකි එකම පිතිකරුවා බවට පත්ව සිටියි. සෙසු පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී අවිෂ්ක නිරත වූ සටන්කාමී පිතිහරඹය එම තරග තරග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මනා රුකුළක් විය.

දිගින් දිගටම අවස්ථා ලබාදෙමින් ආරම්භක පිතිකරුවකු ලෙස අත්හදා බැලූ පැතුම් නිස්සංක, පැපුවා නිව්ගිණියාවට එරෙහිව පැවැති පෙරහුරු තරගයේදී පන්දු 58 කින් ලකුණු 76 ක් ලබාගනිම්න් ලකුණු අතරට පිවිසීමද ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි දායක වනු ඇත. කෙසේ වුවත් අද තරගය සඳහා පැතුම් ක්‍රීඩා කරන්නේ නම් ඔහුට කුසල් පෙරේරා සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට අවස්ථාව ලැබේවිද යන්න තවමත් අවිනිෂ්චිතය.

“අපිට ඉන්න හොඳම විස්සයි-20 පිතිකරු තමයි කුසල් ජනිත්. ඔහු ගැන කිසිම ගැටලුවක් තිබු‍ණෙ නෑ. අපිට තීරණයක් ගන්න වෙලා තිබු‍ණෙ චන්දි අයියයි (දිනේෂ් චන්දිමාල්), පැතුම් නිස්සංකයි ගැන. මේ වෙනකොට ඔවුන් දෙදෙනාම දක්ෂතා අතර ඉන්නවා. මම තේරීම් කමිටුවයි, පුහුණුකරුවනුයි එක්ක සාකච්ඡා කරලා තිරණයක් අරගෙන තියෙනවා කවුද කුසල් එක්ක ඉනිම අරඹන්නෙ කියලා. හෙට තරගයේදී එ්ක බලාගන්න පුලුවන් වෙයි.” යැයි තරග‍යට පෙර දිනයේදී පැවැති මාධ්‍ය හමුවේදී ආරම්භක පිතිකරු යුගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය.  

පසුගිය තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් එහිදී ලකුණු අතරට පැමිණීමට අසමත් වීම හේතුවෙන් ඔහුට පිතිහරඹය ලැයිස්තුවේ එක් ස්ථානයක් පසුබැසීමට සිදු වුවද එය විමතියට කරුණක් නොවනු ඇත. එහෙත් අවිෂ්ක ප්‍රනාන්දු සිවුවැනි ස්ථානයේ පන්දුවට පහරදුන් සෑම අවස්ථාවකදිම පාහේ සාර්ථක වීම නිසා එම ස්ථානයේ වෙනසක් සිදුවිය හැකියැයි බලාපොරොත්තු විය නොහැකිය. ඒ අනුව ස්ථිර වශයෙන්ම අවිෂ්ක අංක 4 ස්ථානයේ පන්දුවට පහරදෙනු ඇත.

“අවිෂ්ක අංක 4 ස්ථානයේ ඉතාමත් හොඳට ක්‍රීඩා කරලා පෙන්නලා තියෙනවා. මහේලගේ එක්වීමත් සමග අපිට පිතිකරු ලැයිස්තුව සකස් කරගන්න හුඟක් පහසු වුණා. මොකද අපි දකින විධියට වඩා තරමක් වෙනස් විධයකට තමා ඔහු ක්‍රීඩකයන් දෙස ‍බලන්නෙ. අංක 4 පිතිකරු පන්දුවට පහරදෙන්න එන විට පන්දු රකින්නන් වැඩි පිරිසක් යාර 30 සීමාවෙන් එළියට ගිහින්. ඒ නිසා ඔහු හිතේ හැටියට අත දිග හැරලා පන්දුවට පහර දෙන්න පුළුවන්. ඒ නිසා අවිෂ්ක අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන එක කණ්ඩායමට හුඟක් වාසි දායක වේවි.” යැයි අවිෂ්කගේ ස්ථනය පිළිබඳව වැඩි දුරටත් පැහැදිළි කරමින් පුහුණුකරු මිකී ආතර් මහතා පැවසීය.  

කණ්ඩායමේ අංක 5 වැනි සහ 6 වැනි ස්ථාන සඳහා උප නායක ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ අතර තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති අතර බොහෝ දුරට ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් පමණක් අද තරගයට එක්වනු ඇත. 7, 8 සහ 9 යන ස්ථාන නායක දසුන් ශානක, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න සඳහා වෙන්කර ඇති අතර දුෂ්මන්ත චමීර සමගින් මහේෂ් තීක්ෂන හෝ අකිල ධනංජය පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් තිබේ.  

මේ අවුරුද්දේදී සහභාගි වූ විස්සයි-20 අන්තර්ජාතික තරග 6 ම ජය ලබා ඇති නැමීබියානු කණ්ඩායමේ කොඳු නාරටිය ලෙස නායක ජෙරාඩ් එරැස්මස්, ඩේවිඩ් වීස් සහ ජේ.ජේ. ස්මිත් යන අධි බලැති ප‍්‍රහාරකයන් තිදෙනා හැඳින්විය හැකිය. නැමීබියානු පිතිකරු ලයිස්තුවේ අංක 4 සිට 6 වැනි ස්ථාන පිරවෙන්නේ ඔවුන් තිදෙනාගෙනි. වමතින් පන්දු යවන ක්‍රීඩකයන් හත් දෙනෙකුගනේ සමන්විත වන නැමීබියානු පන්දු යැවීමේ අංශය කෙරෙහිද ශ්‍රී ලංකා පිතිකරුවන්ට හෙට තරගයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇත. 

 

ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, ‍මහේෂ් තීක්ෂණ, පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ

 

නැමීබියා සංචිතය

‍ජෙරාඩ් එරැස්මස් (නායක), ස්ටෙෆාන් බාර්ඩ්, සේන් ග්‍රීන්, ක්‍රේග් විලියම්ස්, ඩේවිඩ් වයිස්, ජේ.ජේ. ස්මිත්, රුබෙන් ට්‍රම්පල්මාන්, ජෑන් නිකෝල්, ‍ජෑන් ෆ්‍රයිලින්ක්, පිකී ෆ්‍රාන්ස්, බෙන් ශිකොන්ගෝ, මිචාවු ඩු ප්‍රේස්, බර්නාඩ් ස්කෝල්ට්ස්, මයිකල් වැන් ලින්ගෙන් සහ කර්ල් බර්කින්ස්‍ටොක්

 


අදහස් (0)

ධනංජය - අසලංක - භානුක අතර සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.