Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයට ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වසරකට පමණ පසුව කොදෙව් පිල හමුවෙයි. තරග 3 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය අද (10 වැනිදා) ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල මෑත කාලීනව හමුවූ සෑම අවස්ථාවකදීම කොදෙව්වන්ගේ හිසරදය බවට පත්වූ වනිඳු හසරංග අද ඇරඹෙන තරගාවලියේ තීරණාත්මක සාධකය බවට පත්වනු ඇත. මක්නිසාද යත් කොදෙව් පිලට එරෙහිව මේ දක්වා සීමිත ඕවර තරග 8 ක් (එක්දින තරග 3 යි, වි-20 තරග 5යි) ක්‍රීඩා කර ඇති හසරංග ඒවායේදී පිතිකරුවන් පාලනය කරගැනීම සඳහා දක්වන සුවිශේෂී දක්‍ෂතාවයි. ඔහුගේ ගුග්ලි පන්දුව පිතිකරුවන් අන්ද මන්ද කරවන්නකි.
අවසන් වරට පැවැති විස්සයි-20 තරගයේදී පවා කොදෙව් පිතිකරුවන් හමුවේ සිය ඕවර 4 ලකුණු 13 කට සීමාකරගත් හසරංග කඩුලු 2 ක්ද දවාගත්තේය. විස්සයි-20 තරගයක ජයග්‍රහණය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන, ලකුණු 134 ක් වැනි ‘සොච්චමක්’ ආරක්‍ෂා කරගැනීමටත් උපරිම උත්සාහය දැරූ හසරංග හමුවේ තරගය ජයගැනීමට ෆේබියන් ඇලන් ඇටවූ උපාය අපූරුය.
තණතිල්ලේ අනෙක් අන්තයේ සිටි සිය ටෙස්ට් නායකයා වන ජේසන් හෝල්ඩර්ට ඔහු කීවේ මෙවන් කතාවකි.
“එයාගේ (හසරංගගේ) අන්තිම (4 වැනි) ඕවරය මේකයි.... ඔයා එයාගේ පන්දු කඩුල්ලට යන්න නොදී නවත්ත ගන්න.... මම අනික් පැත්තෙන් දෙන්නම් බැටේ” යන්නයි. හසරංග යැවූ 18 වැනි ඕවරයේ පන්දු 6 ට මුහුණ දුන් හෝල්ඩර් ලබාගත්තේ ලකුණු 6 කි. එහෙත් 19 වැනි ඕවරය යැවූ අකිල ධනංජය හමුවේ පන්දු 6 කින් ලකුණු 21 ක් (6, 2, 6, 1, 1, 6) උදුරාගත් ෆේබියන් ඇලන් තරගය අවසන් කළේ කී දේ එලෙසින්ම කරමිනි.
කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර, හරියටම වසරකට කලින්, ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදීත් තරගාවලියේ වීරයා වූ හසරංග එහිදී 3-0 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය.
කෙසේ වෙතත් මෙය කොදෙව් පිල සහ හසරංග අතර තරගාවලියක් නොව, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ප්‍රසාද ලකුණු 11 ක පරතරයක් ඇතිව සිටින ශ්‍රී ලංකාවත් කොදෙව් පිලත් අතර පැවැත්වෙන තරගාවලියකි. තරග 3 කින් සමන්විත තරගාවලියේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න වීම මත මෙම ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ - පහළ යාම තීරණය වනු ඇත.
අද තරගයේදී නැවතත් කණ්ඩායමට පිවිසෙන දිමුත් කරුණාරත්න මෙතැන් සිට ටෙස්ට් තරගාවලියේ අවසානය දක්වාම ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ බර කරට ගනු ඇත. එතැන් සිට නායකයාට ඇත්තේ වෙනමම වගකීමකි. දෙපිලම සංසන්දනය කිරීමේදී කොදෙව් පිතිකරුවන් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකාවේ පන්දු යවන්නෝ ඉදිරියෙන් සිටිති. වෙනස ඇත්තේ මැද පෙළ පිතිකරුවන් අතරේය. තරගය ඇත්තේ එතැනය.
වසර 46 කට ඉහතදී, ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පා තැබූ 1975 වසරේදී පළමු වතාවට මුණ ගැසුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. එදා ක්ලයිව් ලොයිඩ්ගේ යකඩ රෑන හමුවේ කඩුලු 9 කින් පරාජය වූ ශ්‍රී ලංකා පිලට එක්දින තරගයකදී පළමු වරට කොදෙව්වන් පරාජය කිරීම සඳහා වසර 14 ක් බලා සිටීමට සිදුවිය. කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු වැනි එක්දින ජයග්‍රහණය වාර්තා වන්නේ 1989 දී ඉන්දියාවේ පැවැති නේරු කුසලාන තරගාවලියේදීය. එහෙත් පසුකාලීන වාර්තාව ශ්‍රී ලංකාවේ වාසියට ලියැවිණ.
වසර 46 ක කාලයක් තුළ ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර එක්දින තරග 60 ක් පැවැති නමුත් තරග 29 ක ජය ශ්‍රී ලංකාවටත් තරග 28 කට ජයකොදෙව් පිලටත් හිමිවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.