Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජොෂුවා පසුපෙළ එකට තබා බඳී
ශා. ජෝර්ජ් ටෙස්ට් තරගය

ජොෂුවා පසුපෙළ එකට තබා බඳී

editorial - 2022 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොදෙව් පිතිකරුවන්ගේ පසුපෙළ එකට බැඳ දැමූ ජොෂුවා ද සිල්වා ලබාගත් අර්ධ ශතකය නිසා ග්‍රෙනඩාවේ, ශාන්ත ජෝර්ජ් නුවරදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී කොදෙව්වෝ මුල් ඉනිමේ වාසිය අත්කර ගත්හ. එංගලන්ත පළමු ඉනිම ලකුණු 204 කට සීමාකරගත් කොදෙව්වෝ, තරගයේ දෙවැනි දිනය වූ සිකුරාදා (25 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටියහ.

කොදෙව් ඉනිමේ එක් අවස්ථාවක ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6 කට 95 ක් ලෙසිනි. එහෙත් කයිල් මේයර්ස් (28), අල්සාරි ජෝෂප් (28), සහ කෙමාර් රෝච් (නොදැවී 25) සමග එක්වූ ජොෂුවා ද සිල්වා ලකුණු සංඛ්‍යාව 232 ක් දක්වා ඉදිරියට තල්ලුකරගෙන ගියේය.

පළමු දිනයේදී එංගලන්තයත් මෙවැනිම අකරතැබ්බයකට මුහුණ දී යාන්තමින් හිස් ඔසවා ගත්තේය. කාසියේ වාසිය අහිමි වීමෙන් පළමුවෙන් පන්දුවට මුහුණ දීමට සිදුවූ එංගලන්ත පිලේ පළමු කඩුලු 9 ම ලකුණු 114 කට බිඳ වැටිණ. එහෙත් අවසන් කඩුල්ල වෙනුවෙන් ඕවර 36.2 ක් පුරා ලකුණු 90 ක වික්‍රමාන්විත සම්බන්ධතාවක් ගොඩනැංවූ ජැක් ලීච් (නොදැවී 41) සහ සකීබ් මොහොමඩ් (49) එංගලන්තය වැටී සිටි වළෙන් ගොඩගත්හ.

පළමු ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවූයේ නමුත් ඒවා නීරස තරග නොවීය. අවස්ථා දෙකේදීම එංගලන්තය විසින් කොදෙව්වන් වෙත වීසිකරන ලද අභියෝගයට සාර්ථකව මුහුණ දුන් කොදෙව්වෝ තරග දෙකේදීම පරාජයෙන් ගැලවුණහ.

අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව අංක 4 වැනි ස්ථානයේ සිටින එංගලන්තය (ප්‍රසාද ලකුණු 101) හමුවේ ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානයේ සිටින කොදෙව්වන් (75) තරග කළ ආකාරය ප්‍රශංසනීය වෙයි.

එහෙත් පළමු තරග දෙකේදී මෙන් නොව, දැන් පැවැත්වෙන තුන්වැනි තරගයේදී කොදෙව්වන්ගේ ආකල්ප තරමක් ආක්‍රමණශීලී පැත්තට බරවී තිබේ. මේ වන විටත් ලකුණු 28 ක් ඉදිරියෙන් සිටින කොදෙව්වන්ට සිය වාසිය තව ටිකක් වැඩිකරගත හැකිවුවහොත්, මෙම තරගයේදී ඉතාමත් වාසිදායක ස්ථාවරයක් ගොඩනඟා ගැනීමට එය ප්‍රමාණවත් වනු ඇත.

තරගය නතර කිරීමට අඩ හෝරාවකට පමණ පෙර එංගලන්ත නායකයා ලබාගත් දෙවැනි නව පන්දුවෙන්ද කොදෙව් පිතිකරුවන්ට බලපෑමක් නොවූ ගානය. ලබාගත්තේ ලකුණු 54 ක් වූවත්, ජොෂුවා ද සිල්වා ඒ වෙනුවෙන් කඩුල්ලේ ගතකළ කාලය පැය 3 කට වැඩි මිස අඩුවක් නොවූයේය. ඒ අතරවාරයේදී පන්දු 152 කට මුහුණ දුන් ජොෂුවා, ඒවායින් 4 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූයේය.

එංගලන්තයෙන් පිටතදී ටෙස්ට් පන්දු යවන්නකු වශයෙන් තමන්ගේ වටිනාකම පෙන්වාදීමේ අභියෝගයකට මුහුණ දී සිටින ක්‍රිස් වෝක්ස්, කඩුලු 3 ක් දවාගත්තේය. එහෙත් ජොෂුවා ද සිල්වා පිටියට පැමිණීමත් සමගින් තත්ත්වය වෙනස් අතකට හැරිණ. වසර 2020 නවසීලන්ත සංචාරයේදී ටෙස්ට් වරම් ලද ජොෂුවා ද සිල්වා, සිය ඉනිම පුරාම පෙන්වූයේ තැන්පත් බව සහ මානසික ඒකාග්‍රතාවයයි.


එංගලන්තය - පළමු ඉනිම 204 යි
(ඇලෙක්ස් ලීස් 31, ක්‍රිස් වෝක්ස් 25, ක්‍රෙග් ඔවර්ටන් 14, ජැක් ලීච් නොදැවී 41, සකිබ් මොහොමඩ් 49, කෙමාර් රෝච් 41/2, ජේඩ්න් සීල්ස් 40/3, කයිල් මේයර්ස් 13/2, අල්සාරි ජෝෂප් 33/2)

බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම කඩුලු 8 ට 232 යි
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 17, ජෝන් කැම්බෙල් 35, ෂමාරා බෲක්ස් 13, ජර්මේන් බ්ලැක්වුඩ් 18, කයිල් මේයර්ස් 28, ජොෂුවා ද සිල්වා නොදැවී 54, අල්සාරි ජෝෂප් 28, කෙමාර් රෝච් නොදැවී 25, ක්‍රිස් වෝක්ස් 48/3, ක්‍රෙග් ඔවර්ටන් 71/2, බෙන් ස්ටෝක්ස් 40/2)

- 213

 


අදහස් (0)

ජොෂුවා පසුපෙළ එකට තබා බඳී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.