Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (9 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 76 ක සැනසිළි සහගත ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 316 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 239 ක් පමණි. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද කැපී පෙණුන දස්කම් දැක්වූ දකුණු අපිකානු නායිකා ච්ලෝයි ට්‍රයන් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8 ක් යවමින් ලකුණු 34 කට කඩුලු 5 ක් බිඳහෙළුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කරමිනි.
තරමක නිහැඬියාවකින් පසුව මෙම තරගයේදී යළිත් ලකුණු අතරට පැමිණි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 57 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 57 ක් රැස්කළාය. ශ්‍රී ලංකා කාන්තා ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් අනුෂ්කා සංජීවනී පන්දු 32 කින් නොදැවී ලකුණු 43 රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට හසිනි පෙරේරා (30) සහ විෂ්මි ගුණරත්න (24) සමත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ හසිනිගේ ඉනිම හතරේ පහර 5 කින්ද, පන්දු 41 කදී වාර්තා වූ විෂ්මිගේ ඉනිම හතරේ පහර 3 කින්ද සමන්විත විය. පිට පිටම අර්ධ ශතක 2 ක් ලබා සිටි හර්ෂිතා සමරවික්‍රම පන්දු 38 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක් ලබා සිටියදී දැවී ගියාය.
හසිනි සහ විෂ්මිගේ කඩුලු දවාගනිමින් දඩයම ඇරඹූ ච්ලෝයි ට්‍රයන්, ඉන් නොනැවතී චමරිගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ පසුපෙළ සුනුවිසුණු කර දැමුවේ තවත් කඩුලු 3 ක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා එහිදී ඇයට අනගි සහායක් දුන් අයබොන්ගා ඛාකා ඕවර 6 ක් යවමින් ලකුණු 30 ට කඩුලු 2 ක් දවාගත්තාය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් රැස්කළ අතර එහිදී අගනා ශතකයක් ලබාගැනීමට ඇනරී ඩාර්ක්සන් (104) සමත් වූවාය. පන්දු 84 කට මුහුණදෙමින් ලබාගත් ඇගේ මංගල එක්දින ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. ලකුණු 127 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී ච්ලෝයි ට්‍රයන් සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 88 කින් ලකුණු 112 ක් එක් කිරීමටද ඇනරී සමත් වූවාය.
නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ච්ලෝයි පන්දු 51 කදී වේගවත් ලකුණු 74 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ඇනරීගේ දැවී යෑමෙන් අනතුරුව නැඩින් ඩි’ ක්ලර්ක් (නොදැවී 32) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී වේගවත් ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ච්ලෝයි, දකුණු අප්‍රිකානු කාන්තා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියාය.
අවසන් ඕවර කිහිපයේදී පන්දු 19 කට මුහුණදුන් නැඩින්, හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසුවාය. සිය දෙවැනි එක්දින ජාත්‍යාන්තර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩිකා දෙව්මි විහන්ගා එහිදී ලකුණු 43 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූවාය. ඇනරී සහ ච්ලෝයි අතර පැවැති දැවැන්ත සම්බන්ධතාවට තිත තැබුවේද 19 හැවිරිදි විහන්ගා වීම එහිදී කැපී පෙණුන සිදුවීමක් විය.
දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 315
(ලෝරා වුල්වාඩ්ට් 33, ටැස්මින් බ්‍රිට්ස් 38, නන්දුමිසෝ ශැන්ගසේ 18, ඇනරී ඩාර්ක්සන් 104, ච්ලෝයි ට්‍රයන් 74, නැඩින් ඩි’ ක්ලර්ක් නොදැවී 32, දෙව්මි විහන්ගා 43/5, චමරි අතපත්ත 70/2)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 239
(හසිනි පෙරේරා 30, විෂ්මි ගුණරත්න 24, හර්ෂිතා සමරවික්‍රම 33, චමරි අතපත්ත 52, නිලක්ෂි ද සිල්වා 14, අනුෂ්කා සංජීවනී නොදැවී 43, දෙව්මි විහන්ගා 16, ච්ලෝයි ට්‍රයන් 34/5, අයබොන්ගා ඛාකා 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.