Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව්වෝ වි-20 තරගාවලිය ජයගනිති

කොදෙව්වෝ වි-20 තරගාවලිය ජයගනිති

editorial - 2021 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලක්ෂාන් සඳකැන් (29/3), වනිඳු හසරංග (13/2) සහ දුෂ්මන්ත චමීරගේ (23/2) දක්ෂ පන්දු යැවීම් අපතේ යවමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහිදී ඉරිදා (7 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය කඩුලු 3 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද කොදෙව් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

අවසන් ඕවර 6 තුලදී කොදෙව් පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 38 ක් අවශ්‍යවූ අතර 15 වැනි ඕවරය යැවූ දුෂ්මන්ත චමීර ප්‍රවේගකාරී පිතිකරු නිකලස් පූරන් දවාගනිමින් එම ඕවරය ලකුණකට සීමා කළේය. 16 වැනි ඕවරය ලකුණු 3 කට සීමාකිරීමට වනිඳු හසරංග සමත්වූ අතර 17 වැනි ඕවරය යැවූ ලක්ෂාන් සඳකැන් ලකුණු 7 ක් පමණක් ලබාදෙමින් රෝව්මන් පවෙල් සහ ඩ්වේන් බ්‍රාවෝ දවා ගනිමින් කොදෙව් පිල අසරණ කිරීමට සමත්විය. යළිත් 18 වැනි ඕවරය යැවීම සඳහා පන්දුවට අතට ගත් වනිඳු හසරංග ලකුණු 7 කට එම ඕවරය සීමා කිරීමත් සමගින් කොදෙව් පිලට ජයග්‍රහණය සඳහා පන්දු 12 කදී ලකුණු 20 ක් අවශ්‍ය විය.

නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සියලු බලාපොරොත්තු කණපිට පෙරළමින් 19 වැනි ඕවරය යැවූ අකිල ධනංජය හමුවේ හයේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් ලබාගත් ෆේබියන් ඇලන් තරගයේ ජය කොදෙව් පිල වෙත නතුකර ගත්තේය. 

ජේසන් හෝල්ඩර් පන්දු 23 කදී හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 14 ක් ලබාසිටි අතර ෆේබියන් ඇලන් පන්දු 6 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 21 ක් ලබාගත්තේය.

කොදෙව් පිලේ මුල්පෙළ සහ මැද පෙළ පිතිකරුවන්ට වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වීමට අවස්ථාවක් ලබානොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔවුන් මෙල්ල කිරීමට සමත්වූහ. නමුත් 19 වැනි ඕවරයේදී අකිල ධනංජය ලැබූ දරුණු ප්‍රහාරයත් සමගින් ඔහුගේ ඕවර 4 තුලදී ලකුණු 53 ක් ලබාදී ඇති අතර කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් හිමිනොවීය. ලක්ෂාන් සඳකැන් ලකුණු 29 කට කඩුලු 3 ක් ද, වනිඳු හසරංග ලකුණු 13 කට කඩුලු 2 ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. කඩුලු ලබානොගත්තද සිය ඕවර 3 ලකුණු 11 සීමාකරමින් කොදෙව් පිතිකරුවන් මෙල්ල කිරීමට ධණුෂ්ක ගුණතිලක සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.

කොදෙව් පන්දු යවන්නන් හමුවේ අසීරුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුල් ඕවර 10 අවසන් වනවිට කඩුලු 4 ක් අහිමිකර ගනිමින් රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 47 ක් පමණි. අවසන් ඕවර 10 තුලදී තමන් දවාගැනීමේ අවස්ථාවක් නොදුන් දිනේෂ් චන්දිමාල් සහ අෂේන් බණ්ඩාර පන්දු 60 කදී ලකුණු 85 ක් ලබාගැනීමට සමත්වූහ.

අර්ධ ශතකයක් ලබාගනිමින් පන්දු 46 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්වූ අතර අෂේන් බණ්ඩාර පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කිරීමට සමත්විය.

මුල් පෙළ පිතිකරුවන්ගේ මන්දගාමී පිතිහරඹය හේතුවෙන් ලකුණු 160-170 ක් කරා යෑමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී යාම නිසා තරගාවලිය ජයගැනීමට තිබූ හොඳ අවස්ථාවක් අහිමි විය. 

 


අදහස් (0)

කොදෙව්වෝ වි-20 තරගාවලිය ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.