Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොදෙව්වෝ ජයග්‍රහණය අබියස
ශා. ජෝර්ජ් ටෙස්ට් තරගය

කොදෙව්වෝ ජයග්‍රහණය අබියස

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුලු රකින ක්‍රීඩක ජෝෂුවා ද සිල්වා මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමෙන් පසුව කයිල් මේයර්ස් ඔහුගේ මඳවේග පන්දු මායාව මුදාහැරියේය. එංගලන්තයට එරෙහිව ග්‍රෙනාඩාවේ ශාන්ත ජෝර්ජ් නුවරදී පැවැත්වෙන තීරණාත්මක ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වූ සෙනසුරාදා සවස ක්‍රීඩාව නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල විශිෂ්ට ජයග්‍රහණයක් අද්දර සිටියේය.

එංගලන්තය සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටි නමුත් ඇත්ත වශයෙන්ම එංගලන්තය ඉදිරියෙන් සිටියේ ලකුණු 10 කින් පමණි.

කොදෙව් ක්‍රිකට් රසිකයින් කණ්ඩායමක් පේක්‍ෂකාගාරයේ ගී ගයමින්, නටමින් සිටියේ කලකට පසුව ටෙස්ට් ජයග්‍රහණයක් දැකගන්නට ලැබෙන බවට වූ හැඟීමෙනි. ඔවුන්ගේ ප්‍රීති ඝෝෂාව මගින් එංගලන්තයේ සංචාරක නරඹන්නන් පිරිස වන බාර්මි හමුදාව නිශ්ශබ්ද කරන ලදී.
 
අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කයිල් මේයර්ස් ඕවර 13 කින් 7 ක්ම නිලකුණු ඕවර ලෙසින් සටහන් කළේය. මේයර්ස් කඩුලු 5 ක් දවාගන්නා අතරේ එංගලන්ත පිතිකරුවන්ට ඔහුගෙන් ලබාගත හැකිවූයේ ලකුණු 09 ක් පමණි.

මේයර්ස් පළමු ඉනිමේදීත් ලකුණු 13 කට කඩුලු 2 ක් දවාගත් අතර මෙම තරගයේදී ඔහුගේ පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 22 කට කඩුලු 7 ක් ලෙසිනි.

ජය පරාජයෙන් තොරව නිමාවූ පළමු සහ දෙවැනි ටෙස්ට් තරග වලදී කයිල් මේයර්ස් ක්‍රීඩා නොකළේය. නමුත් බටහිර ඉන්දීය කොදෙව්වන් විශේෂඥ දඟ පන්දු යවන්නෙකු නොමැතිව තුන්වැනි තරගයට යාමට  තීරණය කළ බැවින් කයිල් මේයර්ස් මෙම තරගයට කැඳවන ලදී.
“මම මගේ වාරය එනතුරු බලා සිටියා. මේ තරගයේදී ඒ අවස්ථාව ලැබුණා. මේ තණතීරුවේ තියෙන ඉපිළීම සහ වේගය වරින් වර වෙනස් වන නිසා මම වැඩි වැඩියෙන් කෙළින් පන්දු යැව්වා. ඒක හොඳ ප්‍රතිඵල ගෙන ආවා” යයි කයිල් මේයර්ස් පැවසීය.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් පිලේ වීරයා මේයර්ස් පමණක් නොවේ.

එංගලන්ත පන්දු යවන්නන් විසින්, අවසන් කඩුලු දෙක දවා ගැනීමට පෙර, බටහිර ඉන්දීය කොදෙව්වෝ තවත් ලකුණු 65 ක් ලබාගත්හ. ශතක ලාභී ජොෂුවා ද සිල්වා, කෙමාර් රෝච් (25) සහ ජේඩන් සීල්ස් (13)ගේ සහය ඇතිව සත්කාරක පිල ලකුණු 93 කින් ඉදිරියට ගෙන ගියේය.

සාමාන්‍ය මට්ටමේ අංක 8 පිතිකරුවකුට වඩා දක්ෂතා පෙන්වමින්, ජොෂුවා ද සිල්වා, ඊයේ දිනයේ කොදෙව්වන් ලබාගත් ලකුණු 65 න් 46 කට හිමිකම් කීවේ සිය මංගල ටෙස්ට් ශතකයද ලබාගනිමිනි.

ඔහුගේ ලකුණු සියල්ලම පාහේ පා ඉන්න පැත්තෙන් පැමිණි ඒවා විය. විස්සයි-20 පන්නයේ පහරකින් ක්‍රේග් ඕවර්ටන්ගේ පන්දුවක් ලණුවෙන් එපිටට යැවූ ජොෂුවා, සිය ශතකය ලබා ගත්තේය. ඒ වෙනුවෙන් පැය 6 කට ආසන්න කාලයක් පිටියේ රැඳුණු ජොෂුවා පන්දු 257 කින් 10 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.

“මගේ ඇස්වලට කඳුළු ආවා,” ශතකය ලබාගැනීමෙන් පසුව ජොෂුවා පැවසීය.
“මට අඬන එක නවත්තගන්න බැරි උනා. ගෙදර අම්මයි තාත්තයි අඬනවා මම දන්නවා” යයි ජොෂුවා කීවේ සතුට උහුලා ගැනීමට බැරිතරමටය.


එංගලන්තය - පළමු ඉනිම 204 යි
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 297 යි

(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 17, ජෝන් කැම්බෙල් 35, ෂමාරා බෲක්ස් 13, ජර්මේන් බ්ලැක්වුඩ් 18, කයිල් මේයර්ස් 28, ජොෂුවා ද සිල්වා නොදැවී 100, අල්සාරි ජෝෂප් 28, කෙමාර් රෝච් 25, ජේඩ්න් සීල්ස් 13, ක්‍රිස් වෝක්ස් 59/3, ක්‍රෙග් ඔවර්ටන් 81/2, සකීබ් මහමුද් 45/2, බෙන් ස්ටෝක්ස් 48/2)

එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 8 ට 103 යි
(ඇලෙක්ස් ලීස් 31, ජොනී බෙයාර්ස්ටෝ 22, කයිල් මේයර්ස් 09/5)

- 213

 


අදහස් (0)

කොදෙව්වෝ ජයග්‍රහණය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.