
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුරව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් හඹායමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 43 ක් ලබා සිටියහ.
ඒ අනුව කොදෙව්වන් කඩුලු 10 ම අතැතිව නවසීලන්තයට වඩා ලකුණු ලකුණු 419 ක් පසුපසින් සිටි අතර ඒ වන විට කෙදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ බ්‍රෙන්ඩන් කිං හතරේ පහර 7 ක් සමග ලකුණු 37 ක්ද, ජෝන් කැම්බල් පන්දු 50 කට මුහුණ දෙමින් ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. හෙට තරගයේ අවසන් දිනයයි.
තෙවැනි දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 381 ක් ලබා සිටි කොදෙව්වන්ට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 39 ක් පමණි. දක්ෂ පිතිහරඹයක නිරත වූ කවේම් හොජ් හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 123 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. ජෙකෝබ් ඩෆී එහිදී කඩුලු 4 ක් බිඳහෙළුවේය.
ලකුණු 155 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත ක්‍රීඩකයෝ, කඩුලු 2 ක් දැවී ලකුණු 306 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා කොදෙව්වන්ට යළිත් පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියහ. පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් සහ ශතකයක් ලබාගත් නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ඩෙවෝන් කොන්වේ සහ නායක ටොම් ලේතම් දෙවැනි ඉනිමේදීද ශතක වාර්තා කරමින් වාර්තාවක් පිහිට වූහ.
කොන්වේගේ (100) හත්වැනි ටෙස්ට් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර ලේතම්ගේ (101) 16 වැනි ටෙස්ට් ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය. නවසීලන්ත දෙවැනි ඉනිමේදී ඔවුන් දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 192 කි. ඉන් අනතුරුව පිටියට පිවිසි කේන් විලියම්සන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 40 ක්ද, රචින් රවින්ද්‍ර හයේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 46 ක්ද රැස්කළහ.
නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 575
කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 420
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 306
(ටොම් ලේතම් 101, ඩොවොන් කොන්වේ 100, කේන් විලියම්සන් නොදැවී 40, රචින් රවින්ද්‍ර නොදැවී 46, කවේම් හොජ් 80/2)
කොදෙව් දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 43
(බ්‍රෙන්ඩන් කිං නොදැවී 37)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.