Last Update  :  2025-10-21 23:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්
පර්ත් එක්දින තරගය

ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්

editorial - 2025 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විරාට් කෝලි (0) සහ රෝහිත් ෂර්මා (08) දෙදෙනාම අසාර්ථක වෙද්දී, ඉන්දියාවේ නව එක්දින නායක ෂුබ්මන් ගිල් ද (10) සිය නායකත්ව සමය අසාර්ථක තරගයකින් ආරම්භ කළේය. දිගින් දිගටම වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඔප්ටස් ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දු - ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 7 ක ජයක් අත්කර ගත්හ. 

වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් මෙම තරගය ඕවර 26 කට සීමා කෙරුණු අතර ඉන්දියානුවෝ ඕවර 26 ක් නිමාවේදී කඩුලු 9 කට ලකුණු 136 ක් ලබාගත්හ. ඉන්දීය ඉනිමේ මුල් කොටසේදී කඩුලු දැවී යාම හේතුවෙන් (45/4) ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව ඉලක්කය සකස් කරන විට ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කය ඕවර 26 කින් 131 ක් ලෙසින් සටහන් විය. ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ඕවර 21.1 කදී කඩුලු 3 කට ලකුණු 131 ක් ලබාගනිමින් තරගය ජයගත්හ. 

අන්තර්ජාතික ක්‍රිකට් පිටියට නැවත පැමිණි රෝහිත් ෂර්මා මෙන්ම විරාට් කෝලි දෙදෙනා දැකගැනීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියානුවන් විශාල සංඛ්‍යාවක් පර්ත් නුවරට පැමිණ සිටියහ. එහෙත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හමුවේ ඔවුන් දෙදෙනා සිය දෙවැනි ගමනට අසාර්ථක ආරම්භයක් ලබාගත්හ. 

ඔප්ටස් ක්‍රීඩාංගණයේදී සිය විශිෂ්ටතම ටෙස්ට් ශතක වලින් එකක් (2018 දී) ලබාගත් කෝලි පසුගිය වසරේදී සිය අවසන් ටෙස්ට් ශතකය ලබාගත්තේ ද ඔප්ටස් ක්‍රීඩාංගණයේදීමය. 

එහෙත් හේසල්වුඩ් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාම ඉලක්කයට පන්දු යැවීම හේතුවෙන් කෝලිට කිසිවක් කරකියාගත නොහැකි විය. කෙසේ වෙතත් මේ දෙදෙනාම නැවතත් අන්තර්ජාතික පිටියට පිවිසීමට තීරණය කළේ දෙදෙනාම තමන්ගේ තරම හොඳින් දන්නා බැවිනි.

ඕවර 7 ක් යැවූ ජොෂ් හේසල්වුඩ්, සිය පන්දු 42 න් 35 ක් ම නිලකුණු පන්දු ලෙසින් යැවූ අතර ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තේය. මිචෙල් ස්ටාක් යැවූ පන්දු 36 න් පන්දු 24 ක් ද නිලකුණු පන්දු ලෙසින් සටහන් විය. එකපිට එක කඩුලු බිඳ වැටීම හේතුවෙන් ඉන්දීය ප්‍රේක්‍ෂකයෝ තරගයේ වැඩි වේලාවක් නිහඬව සිටියහ. 

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 3 කින් සමන්විත වන අතර ඉන් අනතුරුව තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකි. තරගයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා පැමිණි අතර වසර 2018 දී ඉදිකරන ලද ඔප්ටස් ක්‍රීඩාංගණයට වැසි ආවරණ අතුරන ලද්දේ පළමු වතාවටය. පර්ත් නුවරදී පැවැති එක්දින තරගයක් සඳහා අවසන් වරට වර්ෂාවෙන බාධා වී ඇත්තේ 1983 දීය. 


ඉන්දියාව - ඕවර 26 කදී කඩුලු 9 ට 136 යි
(ෂුබ්මන් ගිල් 10, ශ්‍රෙයාස් අයියර් 11, අක්ෂර් පතෙල් 31, ලෝකේෂ් රාහුල් 38, වොෂිංටන් සුන්දර් 10, නිතිෂ් කුමාර් රෙඩ්ඩි නොදැවී 19, ජොෂ් හේසල්වුඩ් 20/2, මිචෙල් ඔවෙන් 20/2, මැතිව් කුනේමන් 26/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 21.1 කදී කඩුලු 3 ට 131 යි
(මිචෙල් මාෂ් නොදැවී 46, ජොෂ් පිලිප්ස් 37, මැතිව් රැන්ෂෝ නොදැවී 21) 

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.