Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානු ක්‍රීඩකාවන්ට වාර්තාගත ජයක්
කාන්තා ලෝක කුසලාන - 2022

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකාවන්ට වාර්තාගත ජයක්

editorial - 2022 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙග් ලැනින් ...

කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා අපරාජිත ගමනක යෙදී සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ගෙන යාමට මෙග් ලැනින් සමත්වූවාය. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී අද (19 වැනිදා) පැවැති තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම සඳහා කඩුලු 4 ට ලකුණු 280 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ලැනින් ලකුණු 97 ක් ලබාගත්තාය.

අවසන් ඕවරය දක්වාම ඇදී ගිය මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පන්දු 3 ක් පමණක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ.

මීට ඉහත කාන්තා ලෝක කුසලාන තරගයක් ජයගැනීම සඳහා කණ්ඩායමක් දෙවැනි වර පන්දුවට පහර දෙමින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2017 එංගල්තයේ බ්‍රිස්ටල් නුවර පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් කඩුලු 2 කට ලකුණු 258 ක් ලබාගැනීමයි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් මේ දක්වා සහභාගි වූ තරග 5 ම ජයගෙන ඇතත් නායිකා මෙග් ලැනින් සිය අවසන් ඉනිම දෙකේදීම ලබා සිටියේ ලකුණු 5 ක් සහ 0 කි.

“මේක පිතිහරඹයටම හදාපු තණතීරුවක්. ඒකේ පන්දුව ඉතාමත් හොඳින් පිත්තට ගලාගෙන එනවා... කොහොම වුණත් මගේ අවසන තරග දෙකේදීම මා අසාර්ථක වීම නිසා අද තරගයේදී ලකුණු ලබාගන්නට ලැබීම සතුටුයි” යයි මෙග් ලැනින් පැවසුවාය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මිතාලි රාජ් (68), යශිකා භාටියා (59) සහ හර්මන්ප්‍රීත් කෞර් (නොදැවී 57) අර්ධ ශතක ලබාගත් හෙයින් ඉන්දීය කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 7 කට ලකුණු 277 ක් ලබාගත්හ.

බහුතර බලාපොරොත්තුව වූයේ එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් බවයි. එහෙත් ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ රෂෙල් හේන්ස් (43) සහ ඇලිසා හීල් (72) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තරගයේ තාලය වෙනස් කළහ. ලකුණු 2 ක් ඇතුළත දෙදෙනාම දැවී ගියද, එතැන් සිට බර කරට ගත් මෙග් ලැනින් (97), එළිස් පෙරී (28) සහ බෙත් මූනි (නොදැවී 30) ඕස්ට්‍රේලියානු පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

මෙග් ලැනින් සහ එළිස් පෙරී අතර පැවැති සම්බන්ධතාව ලකුණු 103 කි. ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 8 ක් අවශ්‍යව තිබිණ. පන්දුව පහරදෙමින් සිටි බෙත් මූනි ලකුණු 4 ක්, 2 ක් සහ 4 ක් ලෙසින් ලබාගනිමින් තරගය අවසන් කළාය.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 277 යි
(ස්ම්‍රිති මන්දනා 10, ශෆාලි වර්මා 12, යශිකා භාටියා 59, මිතාලි රාජ් 68, හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 57, පූජා වස්ත්‍රකාර් 34 ඩාසි බ්‍රවුන් 30/3, අලානා කිං 52/2)

ඕස්ට්‍රේලියාව- ඕවර 49.3 කදී කඩුලු 4 ක් දැවී 280 යි
(රෂෙල් හේන්ස් 43, ඇලිසා හීලි 72, මෙග් ලැනින් 97, එළිස් පෙරී 28, බෙත් මූනි 30, පූජා වස්ත්‍රකාර් 43/2)

ඇලිසා හීලි...

 

යශිකා භාටියා සහ මිතාලි රාජ්...

 

හර්මන්ප්‍රීත් කෞර් ...

- 213

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකාවන්ට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.