Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවෝ ජයග්‍රහණයේ සිහින දකිති

ඕස්ට්‍රේලියානුවෝ ජයග්‍රහණයේ සිහින දකිති

editorial - 2019 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විටත් නවසීලන්තයට එරෙහිව ජයග්‍රහණයක් ගැන ඕස්ට්‍රේලියානුවෝ සුබ සිහින දකිමින් සිටියහ. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය වූ අද (28 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 137 ක් ලබා සිටියේ නවසීලන්තයට වඩා ලකුණු 456 ක් ඉදිරියෙන් සිටිමිනි.

තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබෙන අතරම ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 6 ක් අතැතිව සිටිති. මුල් ඉනිමේ ශතක ලාභියා වන ට්‍රැවිස් හෙඞ් (නොදැවී 12) සහ මැතිව් වේඞ් (නොදැවී 15) පිටියේ රැඳී සිටිති.

මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින ඕස්ටේ්‍රලියානු පිලට මෙම තරගය ජයගත හැකිවූවහොත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය අත්කර ගැනීමට හැකිවනු ඇත. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 33 කට පසුවය.

වේග පන්දුවේ බල මහිමය මේ යයි කියා දුන් ටිම් පේන්ගේ ඕස්ට්‍රේලියානුවෝ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී නවසීලන්ත පිල ලකුණු 148 කට සීමා කරමින් ලකුණු 319 ක දැවැන්ත වාසියක් අත්කර ගත්හ. පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීම නවසීලන්ත පිලට පැවරීමේ අවස්ථාව හොඳින්ම තිබියදීත්, මෙල්බර්න් තණතීරුවේ වාසිය කිවියන්ට නොදුන් ඕස්ට්‍රේලියානු නායකයා සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට තීරණය කළේය.

සෙනසුරාදා දිනය නිමා වන විට ඕස්ට්‍රේලියානුවෝ සිය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 456 ක් ඉදිරියෙන් සිටියහ. මෙම තත්ත්වය නවසීලන්ත නායකයාගේ හිස කරකැවෙන තත්ත්වයට පත්කර තිබේ.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව මේ වනවිට දෙවැනි ස්ථානයේ සිටින නමුත් නවසීලන්තය අභිමුව ඇත්තේ පහසු අභියෝගයක් නම් නොවේ. තරගාවලියේ සජීවී බව රඳවා ගැනීමට නම් නවසීලන්ත පිල මෙම තරගය ජයගත යුතුව තිබේ. එහෙත් වසර 142 ක ඉතිහාසය පුරා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගක් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 332 කි.

නවසීලන්ත පිල මෙවන් තත්ත්වයකට ඇද වැටීමට කාරණාව කාසියේ වාසිය දිනාගත් කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු පිලට පැවරීම නිසා බව වැඩිදෙනාගේ මතයයි. එහෙත් වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේදී කාසියේ වාසිය හිමිකරගැනීමෙන් පසු කරන්නේ කුමක්ද යන්න කණ්ඩායමේ ඒකමතික තීරණයක් මිස නායකයාගේ තනි තීරණයක් නොවේ.

පන්දුවට පහර දෙමින් සිටියදී ටේ‍රන්ට් බෝල්ට්ගේ අතට පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු තුවාල ලැබීමත් නවසීලන්ත පිල මුහුණ දෙන බරපතළ අවාසියකි. මෙල්බර්න් තරගයෙන් පසුව බෝල්ට් නැවතත් සිය රට බලා යාමට නියමිතය.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ස්ටීවන් ස්මිත් දවාගත් නීල් වැග්නර් මෙම තරගාවලියේ තරග දෙකකදී අවස්ථා හතරේදීම ස්මිත්ගේ ගමන නැවැත්වූ පන්දු යවන්නා විය.

මේ වන විට ටෙස්ට් පිතිකරුවන් අතර සිටින විශිෂ්ටතමයා බවට පත්ව සිටින ස්ටීවන් ස්මිත් (අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම - 2) මුණගැසුණු ඉනිම හයකදී 5 වතාවක්ම දවාගැනීමට වැග්නර් සමත් වී තිබේ. ඒස මගම නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු 200 සම්පූර්ණ කිරීමටද වැග්නර් සමත් වූයේය.

ඕස්ට්‍රේලියානු වේග පන්දු බලඇණිය මෙහෙයවූ පැට්‍රික් කමින්ස් ලකුණු 28 කට කඩුලු 5 ක් දවාගත්තේ වේගය මෙන්ම පන්දුවේ ඉලක්කයත් මැනවින් පාලනය කරමිනි. කමින්ස් මේ වසරේදී ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් සිව්වැනි අවස්ථාව එය විය. 29 හැවිරිදි ජේම්ස් පැටින්සන් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත්තේ තුවාල ලත් ජොස් හේසල්වුඞ්ට හොඳම ආදේශකයා තමන් බව පෙන්වා දෙමිනි.

වසර 32 කට පසුව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනු දැකබලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත නවසීලන්ත ප්‍රේක්‍ෂක පිරිසක් මෙල්බර්න් නුවරට පැමිණ සිටියහ. නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 1987 දීය. ජෙෆ් හොවාර්ත්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට එවකට ලෝකයේ සිටි විශිෂ්ටතම ක්‍රීඩකයන් වූ ශ්‍රීමත් රිචඞ් හැඞ්ලි මෙන්ම ජෝන් රයිට් වැන්නෝ ඇතුළත් වූහ.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 467 යි
(ඩේවිඩ් වෝනර් 41, මානස් ලැබුස්චේන් 63, ස්ටීවන් ස්මිත් 85, මැතිව් වේඞ් 38, ට්‍රැවීස් හෙඞ් 114, ටිම් පේන් 79, නීල් වැග්නර් 83/4, ටිම් සවුතී 103/3, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 68/2)

නවසීලන්ත පළමු ඉනිම - 148
(ටොම් ලෙතම් 50, ටිම් බ්ලන්ඩල් 15, නීල් වැග්නර් නොදැවී 18, මිචෙල් ස්ටාක් 30/2, පැට් කමින්ස් 28/5, ජේම්ස් පැටින්සන් 34/3)

ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 4 ට 137 යි
(ඩේවිඩ් වෝනර් 38, ජෝ බර්න්ස් 35, මානස් ලැබුස්චේන්ජ් 19, මැතිව් වේඞ් නොදැවී 15, ට්‍රැවිස් හෙඞ් නොදැවී 12, නීල් වැග්නර් 39/2)

 

1987 දී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයට සහභාගි වූ ක්‍රීඩකයෝ වසර 33 කට පසුව එක්වූ අවස්ථාව

..


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ජයග්‍රහණයේ සිහින දකිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.