Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය ඉනිමකින් ජයගනී

එංගලන්තය ඉනිමකින් ජයගනී

editorial - 2021 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 76 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩකයෝ පතව්දි කුසලන තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ. තරගයේ සිව්වැනි දිනය වූ අද (28 වැනිදා) දිවා ආහාරයට පෙරම එංගලන්ත ක්‍රීඩකයෝ සිය ජයග්‍රහණය සම්පූර්ණ කළේ තරගයේ දින එකහමාරක් ඉතිරිව තිබියදීය.

දෙවැනි නව පන්දුව අතට ගැනීමත් සමගින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කළ ඔලී රොබින්සන් අපේක්‍ෂා කළාටත් කලින් එංගලන්ත පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියේය.

තරග 5 කින් සමන්විත පතව්දි කුසලාන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2021-2023 කාල පරිච්ඡේදයේ පළමුවැනි තරගාවලියයි. මෙම තරගාවලියේ දෙවැනි තරගය ලකුණු  151 කින් ජගැනීමට ඉන්දියාව සමත් විය.

කඩුලු 2 කට ලකුණු 215 ක් ලබා සිටියදී අද පෙරවරුවේ පිතිහරඹය ආරම්භ කළ ඉන්දියානු පිල ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 139 ක් ලබාගත යුතුව තිබිණ. එහෙත් අද දිනය ආරම්භයේදීම දෙවැනි නව පන්දුව ලබාගත් එංගලන්ත නායකයා ඕවර 20 ක් ඇතුළතදී ඉන්දීය පිලේ ඉතිරිව තිබූ කඩුලු 8 ම දවාගත්තේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔලී රොබින්සන් ලකුණු 65 කට කඩුලු 5 ක් දවාගත්තද අද පෙරවරුවේදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ ඕවර 7-1-25-4 ක් ලෙසිනි.

ඉන්දියාව පරාජය කරා ඇදීයාම ආරම්භ වූයේ චෙටේස්වාර් පුජාරා දැවී යාමත් සමගිනි. ඒ  වන විට පුජාරා සහ විරාට් කෝලි දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව 99 ක් වී තිබිණ.

පිට ඉන්නෙන් බොහෝ ඉවත පතිත වූ පන්දුවට පා ආවරණය දැමූ පුජාරා,  පිත්ත අහකට ගත් නමුත් එංගලන්ත පන්දු රකින්නෝ එය කඩුල්ල මුවා කිරීමක් ලෙසට ඉල්ලීමක් කළහ. රූපවාහිනී විනිසුරුවරයාගේ තීන්දුව පන්දු යවන්නාගේ වාසියට හිමිවූයේ පුජාරා පිත්තත් අහකට ගත් බැවිනි.

එතැන් සිට පැය දෙකක් යාමටත් මත්තෙන් සියල්ල නිමා විය. විරාට් කෝලි මෙම තරගාවලියේ පළමු අර්ධ ශතකය ලබාගත් නමුත් එංගලන්තය සතුව තිබූ දැවැන්ත වාසිය නිසා පීඩනය එන්න එන්නම වැඩි විය. රවීන්ද්‍ර ජදේජා පමණක් නොදැවී ලකුණු 30 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවෝ එකා පසුපස එකා ඔලී රොබින්සන්ට ගොදුරු වූහ.

තරගාවලියේ සිව්වැනි තරගය ලබන බ්‍රහස්පතින්දා (2 වැනිදා) ලන්ඩන් ඕවල් පිටියේදී ආරම්භ වෙයි.


ඉන්දියාව - පළමු ඉනිම 78 යි
එංගලන්තය - පළමු ඉනිම 432
ඉන්දියාව - දෙවැනි  ඉනිම 278 යි

(රෝහිත් ෂර්මා 59, චෙටේස්වාර් පුජාරා 91, විරාට් කෝලි 55, අජින්ක්‍යා රහනේ 10, රවීන්ද්‍ර ජදේජා නොදැවී 30, ඔලී රොබින්සන් 65/5)

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)

 

(ඡායාරූප - රොයිටර් අනුග්‍රහයෙනි)

- 213

 


අදහස් (0)

එංගලන්තය ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.