Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner ලෝපුරා පිළිරැව් දෙන සිංහ නාදයේ අභිමානය

ලෝපුරා පිළිරැව් දෙන සිංහ නාදයේ අභිමානය

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

කි‍්‍රකට් පොතේ සියලූම පහර නොවරද්දා ගැසීමටත් එයට අලංකාරය එක්කිරීමටත් හැකියාව ඇති පිතිකරුවෝ විරළයහ. කිසිදු පැකිළීමකින් තොරවම පොතේ පිතිකරුවන්ගේ කුළකයත් අලංකාර පිතිකරුවන්ගේ කුළකයත් එකිනොකා හරහා යන සීමාවට මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාම ඇතුළත් කළ හැකිය. ඒ සම්බන්ධයෙන් කිසිවකු වාද නොකරනු ඇතැයි හැගේ.

හික්මීමක් නැති, දඩබ්බර පිතිකරුවන්ගේ ලකුණු දඩයම් වෙනුවෙන් නිර්මාණය කෙරුණු විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවට අලංකාරය එක්කළෝ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාය. ඔවුන් දෙදෙනාම විස්සයි:20 අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගත්තේ විස්සයි:20 ලෝක කුසලාන ශී‍්‍ර ලංකාවට දිනා දීමෙන් අනතුරුවය.

මෙම කුසලානය, කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම දිනාගත් දෙවැනි ලෝක කුසලානයයි.

”අදහාගන්නත් බෑ...මට විස්තර කරන්න වචන නෑ”

”ලෝක කුසලානයක් දිනූ කණ්ඩායමක මා සිටි පළමු අවස්ථාව මේකයි...ඒත් අපි හතර වතාවක්ම බලාපොරොත්තු කඩකරගත්තා..ඒ නිසා මේ අවස්ථාව ගැන මට දැනෙන හැටි කියාදෙන්න නම් මට වචන නෑ...ඒ කොහොම වුණත් ඉතාමත් නිරහංකාර සතුටක් මට දැනෙනවා” යයි ඉරිදා රාති‍්‍රයේ මාධ්‍යවේදීන් ඇමතූ කුමාර් සංගක්කාර පැවසීය.

ලෝක කුසලන අවසන් තරගයක් කරා පැමිණීමේදී දහසකුත් එකක් ප‍්‍රශ්න වලට මුහුණ දීමට කී‍්‍රඩකයන්ට සිදුවේ. ඒ වෙනුවෙන් කී‍්‍රඩකයන් ඉතා විශාල කැපකිරීමක් කරන අතරම කණ්ඩායමේ සගයන්ගෙන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්, හිතමිතුරන්ගෙන්, කී‍්‍රඩා ලෝලීන්ගෙන්, කණ්ඩායමේ පුහුණුකරුවන්ගෙන් මෙන්ම තවත් බොහෝ දෙනාගේ සහයෝගය ඒ සඳහා අවශ්‍ය වෙයි.  

”තනියම මේ කිසිවක් කරන්න බෑ....ඔබ ලෝකයේ දක්‍ෂතම පිතිකරුවා නැත්නම් දක්‍ෂතම පන්දු යවන්නා වෙන්න පුළුවන්..ඒත් සහයෝගය නැතිව කිසිවක් කරන්න බෑ”

”මේ වගේ අවස්ථාවලදී ඔවුන් දිහා ආපසු හැරිලා බලන්න  ඕනෑ..ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයට ස්තුතියි කියන්න  ඕනෑ..මොකද ඔවුන් නැතිව මෙතැනට එන්න බෑ....මේක හිතාගන්නත් බැරි ගමනක්”යයි ලෝක කුසලාන අවසන් තරග 5 කට කී‍්‍රඩා කර ඇති වමත් පිතිකරුවා පැවසීය.

සිය අවසන් විස්සයි:20 තරගය වෙනුවෙන් කී‍්‍රඩා කිරීම සඳහා පිටියට පැමිණි සංගක්කාරට වෙනදාට වඩා නුහුරු ගතියක් දැණිණ. ඒ තමන් සහ මහේල වෙනුවෙන් මෙම තරගය ජයගැනීමට කණ්ඩායමේ සගයන්ට  ඕනෑ කර තිබීමයි. එහෙත් ජයග‍්‍රහණය වෙනුවෙන් තමන් පසුපසින් සිටි පිරිස පිළිබඳවද සංගක්කාර අමතක නොකරයි.

”කණ්ඩායමට මේ තරගය දිනන්න  ඕනෑ කරලා තිබුණේ අප දෙදෙනා වෙනුවෙන් වුණත් තවත් මිලියන 20 ක පිරිසක් වෙනුවෙන් මේ තරගය ජයගත යුතුයි..මා සහ මහේල පමණක් නොවේ, කණ්ඩායමේ සෙසු සාමාජිකයන්...අප වෙනුවෙන් නිතරම අප පසුපසින් සිටින අය වෙනුවෙන් මේ තරගය ජයගත යුතුව තිබුණා”

”අප දෙදෙනාව වැඩියෙන් පෙනෙන්නේ එය අපගේ අවසන් තරගය නිසායි. ඒත් ඇත්තවශයෙන්ම කියනවා නම් හැම කෙනෙක්ම කිසියම් දෙයක් කරලා තිබුණා” යයි සංගක්කාර පැවසීය.

සංගක්කාර ඉතාමත් ආශාවෙන් පොතපත කියවන්නෙකි. අගතා කි‍්‍රස්ටි ඔහුගේ පි‍්‍රයතම ලේඛකයන් අතර සිටින්නෙකි.

සංගක්කාර කුඩා කාලයේදී ඔහුගේ පියා ඔහුට පොත් ගෙනැවිත් දෙයි. කුඩා ‘කුමාර්’ සතියක් ඇතුළත ඒ පොත් කියවා හමාර කළ යුතුය. නැතහොත් ප‍්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වීමෙන් තාත්තාගේ උදහසට ලක්වීමට පුළුවන.

මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා, පසුව නීතියද සෑහෙන දුරට හැදෑරූ නමුත් වෘත්තීය කි‍්‍රකට් කී‍්‍රඩකයකු වීමෙන් පසුවත් සංගක්කාර තමන් පොත්පත් කියවීමෙන් උකහාගත් දෙයින් බොහෝ ප‍්‍රයෝජන ගත්තේය. එනිසාම ඉරිදා තරගයේ අවසන් කොටස වන තුරු, එනම් දිනුම් කණුව පෙනෙන තුරු, තමන්ගේ හැගීම් යටපත් කරගනිමින් පිතිහරඹයේ යෙදීමට සංගක්කාර ඉටාගෙන සිටියේය.

”හැගීම්බර වෙන්නේ නම් එය අපගේ වාසියට යොදාගත යුතුයි කියන එක ගැන මා තදින් විශ්වාස කරනවා. එහෙම නැත්නම් ඒක අමතක කරලා දාන්න  ඕනෑ”

”ජයග‍්‍රහණය සඳහා අපට ලකුණු 11 ක්  ඕනෑ කරලා තියෙද්දී මගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව හතරේ සීමාවට ගියා. එතැන ඉඳලා  ඕනෑ කරන්නේ පහර දෙකක් පමණක් විත්තිය මා දැනගත්තා. ඒත් තිසර අනෙක් පැත්තේ ඉන්න නිසා කිසිම ප‍්‍රශ්නයක් නෑ.....මා හැගීම් පළ කරන්නට පටන් ගත්තේ එතැන සිටයි”

”සමහර වෙලාවට සීමාවෙන් එහාට පැනගන්න ඔබටම ඔබව ධෛර්යවත් කරන්නට වෙනවා. අද සිද්ධ වුණේ එයයි” යයිද සංගක්කාර පැවසීය.

තරගය අවසන් කර නැවතත් කී‍්‍රඩකයන් අතරට පැමිණීමෙන් අනතුරුව එකිනෙකාගේ උරතල වලින් අල්ලාගත් මහේල සහ සංගක්කාර දෙදෙනා නළලට නළල තබාගනිමින් සතුට පළ කළහ. එය කුඩා දරුවන් දෙදෙනකුට තමන් කැමති රසකැවිල්ලක් ලැබුණා වැනි අවස්ථාවකි.

මේ වන විට 36 හැවිරිදි වියේ සිටින සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධනද එකම කාලයකදී ජාතික කණ්ඩායමට ඇතුළත් නොවුණද ඔවුන් ජාතික කණ්ඩායම තුළ ස්ථාවරයට පත්වූයේ එකම වකවානුවකදීය.

වසර 17 කට ඉහත කොළඹදී පැවැති ලෝක වාර්තාගත කි‍්‍රකට් තරගයකදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් මහේල ජයවර්ධන එක්දින පිතිකරුවකු වශයෙන් සිය මුල්ම සලකුණ තැබුවේ 1999 ජනවාරි මාසයේ ඇඩිලේඞ්හිදී පැවැති එක්දින තරගයකදීය. ඒ එංගලන්තයට එරෙහිව අගනා ශතකයක් ලබා ශී‍්‍ර ලංකා පිල ජයටැඹ කරා කැඳවාගෙන යමිනි.

එම තරගයේදී මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගසන බවට චෝදනා එල්ලවූ හෙයින් මහේලගේ ශතකයත් ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රහණයත් යටපත් වී මුරලිදරන් පන්දුව දමාගසන්නේය යන චෝදනාව ඉස්මතු විය. එහෙත් පසුකළෙකදී චෝදනා කළවුන්ටම ඒ පිළිබඳ අමතක විය. මුත්තයියා මුරලිදරන් මෙන්ම මහේල ජයවර්ධනද කි‍්‍රකට් ලෝකයේ නොමැකෙන සටහන් තබමින් කි‍්‍රකට් ලෝකයේ ගිරිකුළු සේ පෙනෙන්නට වන්හ.

ශී‍්‍ර ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය ආරම්භ වූ ජනවාරි මස අවසන් සතියේ සිටම පිත්තෙන් අති විශිෂ්ට දස්කම් දැක්වූ කුමාර් සංගක්කාර බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ති‍්‍රත්ව ශතකයක් සහ ශතකයක් සමගින් තරග 2 කදී ලකුණ 499 ක් ලබාගත්තේය.  නමුත් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සංගක්කාරට පුදුමාකාර පසුබෑමක් විය.

ලෝක කුසලාන තරගාවලියේ තරග 5 කදී ඉනිම 4 කට මුහුණ දෙමින් සංගක්කාර ලබාගත්තේ ලකුණු 19 ක් පමණි. එහෙත් අවශ්‍යම මොහොතේදී කණ්ඩායමේ බර උසුලා ගත් සංගක්කාර අවසන් තරගයේදී නොදැවී ලකුණු 52 ක් ලබා ශී‍්‍ර ලංකා පිල කරේ තබාගෙන ජයටැඹ කරා ගියේය. ඒ විශිෂ්ටයන්ගේ ස්වභාවයයි.

”මා අද වෙනස් යමක් කළා නම් ඒ තරමක් හොඳට පන්දුව දිහා බලල කී‍්‍රඩා පහර දුන් එකයි. ඒත් මා ඉතාමත් සුබවාදීව සිටියා. වෙනත් අවස්ථාවන්හිදී මා පරෙස්සම් වුණා වැඩියි. ඒත් අද එහෙම කළේ නෑ”

”කොහෙම වුණත් ඒ වගේ වෙනස් වෙන්න නම් පහසු ඉලක්කයක් තියෙන්න  ඕනෑ. අපි අවසන්  ඕවර හතර යැවූ ආකාරය නම් අති විශිෂ්ටයි”

”පන්දු 50 කින් විතර ලකුණු 70 ගහලා සිටි අයකුටත්, මහේනද්‍ර සිං දෝනි වගේ කෙනෙකුටත් එහෙම පන්දු යවනවා මා මීට පෙර දැකලා නෑ...එයින් පෙන්නුම් කළේ අපේ පන්දු යවන්නන්ගේ විශිෂ්ටත්වයයි, තරගයට ඉස්සරවෙලා අප කළ සැලසුම් වල ප‍්‍රතිඵලයි” සංගක්කාර පැවසීය.

ලකුණු 130 ක්  ඕනෑම අයකුට  ඕනෑම දවසකදී හඹා යා හැකියි. ඒහෙත් වැදගත්ම දේ ඉන්දියානු කණ්ඩායම වැනි පිතිකරු හමුදාවක් ලකුණු 130 කට සීමා කිරීමයි. ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ එය කර පෙන්වූහ. ඒ සඳහා අති විශේෂ පෙළඹවීමක් මෙන්ම උත්තේජනයක්ද අවශ්‍ය වේ. ඔවුන්ට ඒ උත්තේජනය මෙන්ම පෙළඹවීමද තිබිණ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග කරන බොහෝ අවස්ථාවන්හිදී පිටිය මැද ගසට පොත්ත මෙන් ඇළුණු මෙම වමත් - දකුණුත් පිතිකරුවන් දෙදෙනා අතර පවතින අනෝන්‍ය වටහාගැනීම නිසාම ලෝක වාර්තා රැසක් සතුකරගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට හිමිවුවද කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ඔවුන් දෙදෙනාටම නොලැබුණු දේත් තිබේ.

මහේල ජයවර්ධන වසර 2007 දී මෙන්ම 2012 දීත්, කුමාර් සංගක්කාර වසර 2009 දී සහ 2011 දීත් ලෝක කුසලාන අවසන් මහ තරග සඳහා නායකයන් වශයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවාගෙන ගියහ. නමුත් එම අවස්ථා හතරේදීම නායකයන් වශයෙන් ලෝක කුසලානයක් ඔසවා ගැනීමෙ අවස්ථාව ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුට නොලැබීම දෛවයේ සරදමකි.

අවසානයේදී විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමේ මොහොතේදී ලෝක කුසලාන දිනූ කණ්ඩායමක සාමාජිකයන් වීමේ අවස්ථාව ඔවුනට ඉතිරි විය. එහෙත් ඒ සම්බන්ධයෙන් සංගක්කාර තුළ ඇත්තේ මැදහත් සිතිවිල්ලකි.

”මා හිතන්නේ නෑ මේ කී‍්‍රඩාව කිසිම ආකාරයකින් අපට හෝ වෙනත් කිසිදු කී‍්‍රඩකයකුට ණයගැතියි කියලා...අපේ වගකීම වන්නේ අපට පුළුවන් තරම් හොඳින් කී‍්‍රඩා කරලා යන්නයි. ඇතැම් විට කිසියම් දෙයක් කළාය කියන යහපත් හැගීමක් දැනේවි”

”අපට මේ හැම අවස්ථාවක්ම ලැබෙන්නේ කී‍්‍රඩාව නිසයි. ඉතින් ඒ අවස්ථාවලින් ප‍්‍රයෝජන ගන්න එක අපේ වගකීමක්...ඒ සඳහා අපට හැකියාව, වාසනාව, සැලසුම් වගේම නියමිත වේලාවේදී සහ නියමිත ස්ථානයේදී ඒ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාවත් තියෙන්න  ඕනෑ” යයිද සංගක්කාර පැවසීය.

විස්සයි:20 අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගෙන ගියද සංගක්කාර සහ මහේ්ල දෙදෙනාම තවදුරටත් ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික තරග සඳහා සහභාගි වනු ඇත. එහෙත් ඒ කොපමණ කාලයකටද යන්න දන්නේ ඔවුන් දෙදෙනාම පමණි.


අදහස් (5)

ලෝපුරා පිළිරැව් දෙන සිංහ නාදයේ අභිමානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.