Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner ලෝක කුසලාන දිනා දුන්නේ පන්දු යවන්නෝ - ක්ලාක්

ලෝක කුසලාන දිනා දුන්නේ පන්දු යවන්නෝ - ක්ලාක්

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියක වීරයා වීම හිතා මතා කළහැකි දෙයක් නොවේ. ඒ සඳහා කී‍්‍රඩකයකු තුළ කිසියම් වාසනා ගුණයක් මෙන්ම අද්වීතීය හැකියාවන් සමුදායක්ද තිබිය යුතුය. ලෝක කුසලාන තරගාවලිවල වීරයන් බවට පත්වූ සනත් ජයසූරිය, ලාන්ස් ක්ලූස්නර්, සචින් තෙන්ඩුල්කාර් වැනි කී‍්‍රඩකයන් වරින් වර පෙන්නුම් කළේ එයයි.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් සෑම දෙනාගේම කතාබහට ලක්වූ කී‍්‍රඩකයා මිචෙල් ජොන්සන් වුවත් තරගාවලියේ වීරයා වූයේ මිචෙල් ස්ටාක්ය. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වූ මිචෙල් ස්ටාක්, වීරයා වූයේ ඔහු විසින් දවාගන්නා ලද කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 10.18 ක සාමාන්‍යයක් පවත්වා ගැනීම වෙනුවෙනි.

ස්ටාක් විසින් තරගාවලිය පුරාම යවන ලද පන්දු 383 න් පන්දු 269 ක්ම පිතිකරුවාගේ පිත්තේ නොගැටී කඩලූ රකින්නා අත පත්වූ පන්දු විය. දවාගත් කඩුලූ 22 න් 12 කදීම පිතිකරුවන් දැවී ගියේ පන්දුව කඩුල්ලේ වැදීමෙනි. නැතහොත් පා ආවරණයෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. ඔහු කොයිතරම් නිවැරදි ඉලක්කයකට පන්දු යැව්වාද යන්න සිතාගැනීමට තිබෙන හොඳම දත්තයන් මේවාය.

ස්ටාක්ට අනගි සහයක් දුන් සෙසු වමත් වේග පන්දු යවන්නන් වන මිචෙල් ජොන්සන්, ජොස් හේසල්වුඞ් සහ ජේම්ස් ෆෝක්නර් තිදෙනාත්  ඕස්ටේ‍්‍රලියානු නායකයාගේ පැසසුමට පාත‍්‍ර වූහ.

”මා හිතන්නේ මේ ලෝක කුසලානය අපට දිනා දුන්නේ අපේ පන්දු යවන්නන් විසින් කියලයි. පිතිකරුවන් ඔවන්ගේ අවස්ථාව ආවාම තම තමන්ගේ වැඩ කොටස කිසිම අඩුපාඩුවක් නැතිව කළා....ඒත් අපි අද ලෝක කුසලාන ජයග‍්‍රාහකයන් වශයෙන් මෙතැන ඉන්නේ කුමක් නිසාද කියන එන ප‍්‍රශ්නාර්ථයක් නෙමේ. ඒ අපේ පන්දු යවන්නන් නිසයි”

”ඔවුන් මේ තරගාවලිය පුරාම අති විශිෂ්ට ආකාරයෙන් තමන්ගේ කාර්යභාරය ඉටුකළා” යයිද ක්ලාක් පැවසීය.

මයිකල් ක්ලාක් එක්දින තරග බිම හැරයන්නේ ඉතාමත් අලංකාර මතක සටහන් කිහිපයක් තබමිනි. සිය අවසන් එක්දින ඉනිමේදී තරගය ජයග‍්‍රහණය කර නොදැවුණු කී‍්‍රඩකයකු ලෙසින් කී‍්‍රඩාගාරයට යාමට ක්ලාක් අදහස් කර සිටින්නට ඇතත්, ජයග‍්‍රහණයට ලකුණු 9 ක් මෑතින් සිටියදී මැතිව් හෙන්රි ඊට හරස් වූයේය.

අලංකාර පිතිහරඹයක යෙදෙමින් ලකුණු 74 ක් ලබා ගත් මයිකල් ක්ලාක් තරග බිම හැරගියේ ලෝක කුසලානයද තම කණ්ඩායමට දිනා දීමෙන් පසුවය.

”ඊයේ මම හිතුවේ එක්දින තරග වලින් සමුගන්නට මේ හොඳම වෙලාව කියලයි. ඒත් ඒ සඳහා මේක හොඳම වෙලාව කියලා මා දැන් නිශ්චිත වශයෙන්ම දන්නවා”

”ලෝක කුසලානය දිනාගැනීම විතරක් නෙමේ,  මගේ රටේ, මගේ කී‍්‍රඩා ලෝලීන් (93,000 ක්) ඉදිිරියේ..බලාපොරොත්තු විශාල ප‍්‍රමාණයක් දරාගෙන හිටියා. අති විශාල පීඩනයකුත් එතැන තිබුණා. .... කී‍්‍රඩාවේදී සුරංගනා කතා කියලා දෙයක් නෑ. ඒ වුණත්, සුරංගනා කතාවකට මට ළංවෙන්න පුළුවන් උපරිම ප‍්‍රමාණය මේක වෙන්න ඇති...” යයිද ලෝක කුසලාන දිනාගත් නායකයකු වශයෙන් සමුගන්නට ලැබීම සම්බන්ධයෙන් ක්ලාක් පැවසීය.

මෙම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් තමන්ගේ කණ්ඩායම් සියලූම සගයින් දැක්වූ දායකත්වය ක්ලාක් මහ ඉහළින් අගය කරයි.

”මේ කණ්ඩායමේ සෑම කෙනෙක්ම මේ ජයග‍්‍රහණයේ කොටස් කාරයෝ. මේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් හැම කෙනාගෙන්ම විශාල දායකත්වයක් ලැබුණා. ඔවුන්ගේ කැපවීම අදත් දකින්න තිබුණා”

”අපි නවසීලන්ත කණ්ඩායම ලකුණු 183 කට දවාගත්තට පස්සෙත් අපේ පිතිකරුවන් පස් හය දෙනෙක්ම පුහුණු දැළ තුළට ගියේ පන්දුවට පහර දීම සඳහා හොඳට සූදානම් වෙන්නයි. එතකොට 180 පහසුවෙන් හඹා යන්න පුළුවන්”

”එකෙන් පෙනෙන්නේ ඔවුන් තුළ තිබුණු විනය හා කැපවීමයි...මට ඔවුන් ගැන හරි ආඩම්බරයි” යයි පැවසූ මයිකල් ක්ලාක් නවසීලන්ත කී‍්‍රඩකයන් අවසන් මහ තරගයේදී අසාර්ථක වූ නමුත් තරගාවලිය පුරාම ඔවුන් දැක්වූ දස්කම් අගය කිරීමටද අමතක නොකළේය.

”මා හිතන්නේ තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙක අවසන් මහ තරගයේදී මුණ ගැසුනා. ඒක හොඳ තරගයක්....බ්‍රෙන්ඩන්ගෙයි මගෙයි යාළුකම සෑහෙන්න ළ`ග එකක්. මා ඔවුන්ට සුබ පතනවා” යයිද මයිකල් ක්ලාක් පැවසීය.

තරගය නිමාවීමෙන් පසුව කී‍්‍රඩාංගණය වටා යමින් පේ‍්‍රක්‍ෂක ආචාරය පිළිගත් අවස්ථාවෙදී මයිකල් ක්ලාක් සුවිශේෂී අභිනයක යෙදෙමින් නරඹන්නන්ට ස්තුති කළේය. පේ‍්‍රක්‍ෂයන් 93,000 ක් සිටි, මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණය වැනි අති දැවැන්ත කී‍්‍රඩාංගණයකදී මයිකල්ගේ අභිනය වටහා ගැනීමට අපහසු වූවත් පසුව ඔහු එය මෙසේ විස්තර කළේය.

”මා හිතන්නේ අපි අපේ නියමිත සීමාවෙන් පිට පැනලා හරි පේ‍්‍රක්‍ෂකයන්ට ආචාර කරන්න, ඔවුන්ට ස්තුති කරන්න  ඕනේ.....මේ තරගාවලිය පුරාම ඔවුන්ගෙන් අපට ලැබුණු සහයෝගය විශ්මය ජනකයි”

”මා ඉතාමත් තදින් විශ්වාස කරනවා ඔවුන්ගෙන් අපට ලැබුණු සහයෝගය මේ තරගාවලිය ජයගන්න විශාල උදව්වක් වුණා කියලා...අළු බඳුන තරගාවලියෙන් පස්සෙත් මා කිව්වේ මේ (ලෝක කුසලාන) තරගාවලියේදී වුණත් වෙනසක් වෙන්නේ නෑ කියලනේ..” යයි මයිකල් ක්ලාක් පැවසීය.

නරඹන්නන්ට ආචාර කිරීමෙන් පසුව විවේකාගාරයට ගිය කී‍්‍රඩකයන් එකිනෙකා අතර සතුට බෙදාගන්නට වූ නමුත් මඳ වේලාවකින්ම තහනම් උත්තේජක පරීක්‍ෂාවට මුහුණ දීම සඳහා නායකයාට ඉන් පිටතට යෑමට සිදුවිය. ලෝකයේ කොයි පියස්සේ සිටියද තහනම් උත්තේජක පරීක්‍ෂකයන්ගෙන් නම් ගැලවීමක් නැත්තේමය.

ක්ලාක්ගේ බලාපොරොත්තුව වූයේ තහනම් උත්තේජක පරීක්‍ෂණයෙන් සහ මාධ්‍ය සාකච්ඡුාවෙන් පසුව කී‍්‍රඩකයන් සමග වැඩි වේලාවක් කී‍්‍රඩකයන්ගේ විවේක කාමරයේ ගත කරමින් සියලූ දේ ගැන ආපසු හැරී බැලීම මිස ‘සාද’ දැමීම නොවේ. එහෙත් රූපවාහිනී විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කරමින් සිටි  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු කී‍්‍රඩකයකු මෙන්ම කලක් ලොව විශිෂ්ටතම පා දග පන්දු යවන්නා වූ ෂේන් වෝන් ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව කී‍්‍රඩකයන්ගෙන් ඇසූ ඇතැම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඊයේ (30 වැනිදා) වන විට  ඕස්ටේ‍්‍රලියාවේ උසස් සමාජධරයන් අතර තදබල නොපහන් බවක් ඇතිවී තිබිණ.

ඕස්ටේ‍්‍රලියාවේ දුම්රිය ස්ථාන, බස්නැවතුම්පොල සහ වෙනත් ප‍්‍රසිද්ධ ස්ථාන වල මධ්‍යසාර භාවිතය මෙන්ම ඒවා මහජනයාට පෙනෙනසේ ප‍්‍රවාහනය කිරීම හෝ රැගෙනයාමත්, තහනම් කර තිබේ. එවැනි වරදකට හසුවුහොත් ස්ථානීය දඩය  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 400 ක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් 40,000 ක් හෝ ඊට මඳක් වැඩි මිස අඩු නොවේ. එවන් තත්ත්වයක් තිබියදීත් ෂේන් වෝන් ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ට දිගින් දිගටම වීසිකළේ නොමනා ප‍්‍රශ්න වැලකි.

වෝන්ගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ‘මුහුණු පොත’ (ෆේස් බුක්) සහ තවත් එවැනි සමාජ වෙබ් ජාලාවලින් ෂේන් වෝන්ගේ කි‍්‍රයාමාර්ග දිගින් දිගටම විවේචනය කෙරිණ.

මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණය යනු කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඓතිහාසික ස්ථාන වලින් එකකි. වසර 138 කට ඉහතදී ලෝකයේ පළමු ටෙස්ට් තරගය පැවැති කී‍්‍රඩාංගණය පමණක් නොව 1971 දී ලොව පළමු එක්දින අන්තර්ජාතික තරගය පැවැති කී‍්‍රඩාංගණය වන්නේද මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයයි. එවන් තැනෙක ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට කී‍්‍රඩා කරන්නට ලැබීමත් මහත් භාග්‍යයකි.

වසර 6 කට පසුව  ඕස්ටේ‍්‍රලියාවට පිවිස, මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ලෝක කුසලාන අවසන් මහ තරගයට සහභාගි වු නවසීලන්ත පිලට සිදුවූයේ බලාපොරොත්තු කඩකරගැනීමෙන් පසුව ආපසු සියරට බලා යාමටය. එහෙත් පරාජය මැදහත් සිතින් බාරගත් නවසීලන්ත ජාතිකයෝ  ඕස්ටේ‍්‍රලියානු දස්කම් අගය කළහ.

ලෝක කුෂලාන තරගාවලිය ආරම්භ වීමට පෙර නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් තමන්ගේ සගයින්ට කීවේ ‘සිහින දකින්නට බිය නොවන්න’ කියාය. එහෙත් ඉරිදා රාති‍්‍රය නපුරු සිහිනයක් ලෙස හැඳින්වීමට මැකලම් සූදානම් නැත.

”ඒක බලාපොරොත්තු කඩවීමක් නම් තමයි. ඒත්  ඕස්ටේ‍්‍රලියානුවන් වඩාත් හොඳින් කී‍්‍රඩා කළා. අන්තිමේ, ඉතාමත්ම වැදගත් තරගයේදී,  ඕස්ටේ‍්‍රලියානුවන් අපට වඩා ඉදිරියෙන් හිටියා. ඒ ගැන ඔවුන්ට ගෞරවය හිමිවිය යුතුයි” යයි මැකලම් තරගයෙන් අනතුරුව පැවසීය.

”ඒත් මේ තරගාවලියේදී  මේ තරම් දුරක් ආපු එක ගැන නම් මට මගේ හාදයෝ ටික ගැන හරිඅඩම්බරයි.....මා හිතන්නේ අපි කි‍්‍රකට් කී‍්‍රඩාව කරපු ආකාරය, අපි අපේ නරඹන්නන් සතටු කරවපු ආකාරය වගේ දේවල් හිතන කොට අපි කිසිවක් අඩුවෙන් කළා යයි කියා මා හිතන්නේ නෑ”

”අනෙක මේක මහ පුදුමාකාර ගමනක්. අපේ ජීවිත වල කොයි කාලයකදී හරි හැරී බලන්න පුළුවන් ආකර්ශනීය මතකයක් අපට තියෙනවා..ඒ කුසලානය දිනාගන්න ලැබුණා නම් හොඳයි තමයි. ඒත් මේ තරගාවලියේදී අපට එන්න පුළුවන් වුණ දුර මේකයි. ඒ ගැන සතුටු වෙනවා” යයිද නවසීලන්ත නායකයා පැවසීය.

අවසන් තරගයේ ප‍්‍රතිඵලය කුමක් වූවත් මෙම තරගාවලියේදී එකිනෙකා හා ඇතිකරගත් මිත‍්‍රත්වය සහ ලබාගත් අත්දැකීම් තමන් ජීවත්වන තුරු පවතින බවද නවසීලන්ත නායකයා අවධාරණය කළේය.

මයිකල් ක්ලාක් එක්දින තරග බිමෙන් සමුගැනීමේ ප‍්‍රවෘත්තිය නවසීලන්ත පිලේ සිටින කී‍්‍රඩකයන් කිහිප දෙනකුටත් කිසියම් උත්තේජනයක් වේවිද යන්න කළ විමසීමේදී මැකලම් කියා සිටියේ තමන්ගේ කණ්ඩායමේ කී‍්‍රඩකයන්ටත් සමුගැනීමේ සැලසුම් තිබිය හැකි නමුත් ලෝක කුසලාන කලබලය නිමාවන තුරු ඔවුන් ඒවා රඳවාතබා ගනු ඇති බවයි.  

”මේ වෙලාවේ පත්තර වල ශීර්ෂ පාඨ අයිති වන්නේ  ඕස්ටේ‍්‍රලියානු පිලටයි. ඉතින් ඔවුන් ඒවා ලබාගත්තාවේ”

”සමුගන්න බලාගෙන අපෙත් දෙතුන් දෙනෙක් ඉන්නවා තමයි. ඒත් තව දවස් දෙකතුනක් බලලා ඒ ගන ඔවුන් එක්කත් කතා කරලා තීරණයක් ගන්නවා” යයිද මැකලම් පැවසීය.

අවසන් මහ තරගයේදී තමන් දැක්වූ දස්කම් බලාපොරොත්තු කඩවීමක් ලෙසින් හඳුන්වන නවසීලන්ත නායකයා,  ඕස්ටේ‍්‍රලියානුවන් සමග තවත් තරගයක් හෙට දිනයේ පැවැත්වුවහොත් එහි ප‍්‍රතිඵලය කුමක් වේද යන්න කිසිවකු නොදන්නා බවත් පැවසීය.

නවසීලන්ත කී‍්‍රඩකයන් දැවී ගිය අවස්ථාවන්හිදී  ඕස්ටේ‍්‍රලියානුවන් ඔවුන්ට සරදම් කළ ආකාරය පිළිබඳව මැකලම් එතරම් අවධානය යොමු නොකරන්නේ  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ හැටි දන්නා නිසා විය හැකිය. මාටින් ගප්ටිල්, ග‍්‍රාන්ට් එළියට් මෙන්ම ඩැනියෙල් විටෝරි දැවී ගිය අවස්ථාවන්දී  ඕස්ටේ‍්‍රලියානු කඩුලූ රකින්නා වූ බ‍්‍රැඞ් හැඩින් සහ තවත් කී‍්‍රඩකයෝ කිහිප දෙනෙක් එක්ව ආපසු කි‍්‍රඩාගාරයට පියමං කරන පිතිකරුවන්ට සරදම් කළහ.

”ඒ ගැන කී‍්‍රඩකයන් එච්චර කතා කළේ නෑ. මෙතන වැදගත් වෙන්නේ  ඕස්ටේ‍්‍රලියාව ජයගත්තේ කොහොමද කියන එක මිසක් ඔය වගේ පොඩි දේවල් නෙවේ. ඒවා ගැන එච්චර ගැඹුරට යන්න මට කිසිම උවමනාවක් නෑ” යයිද මැකලම් පැවසීය.


අදහස් (2)

ලෝක කුසලාන දිනා දුන්නේ පන්දු යවන්නෝ - ක්ලාක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.