Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner රැස්වීමට කලින්දා අපි අසරණ වුණා - නිශාන්ත

රැස්වීමට කලින්දා අපි අසරණ වුණා - නිශාන්ත

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාව සහ ව්‍යූහය සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස් කම් කිහිපයක් හඳුන්වා දෙමින් රූපවාහිනී අයිතිවාසිකම් සහ අනුග‍්‍රහකයන් හරහා කි‍්‍රකට් කී‍්‍රඩාවට ගලාඑන මුදල් කන්දරාවෙන් වැඩි කොටසකට අයිතිවාසිකම් කීමටත් කී‍්‍රඩාවේ පරිපාලනය වෙනස් කම් කිරීමේදී සහ තීරණ ගැනීමේදී වැඩි බලතල රඳවා ගැනීමටත් හැකිවන පරිදි ඉන්දියාව, එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව මූලිකත්වය ගනිමින් විශේෂ කෙටුම්පතක් සකස් කරන ලදි.

කි‍්‍රකට් ලෝකයේ බලය අල්ලා ගැනීම සඳහා ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය එක්ව සකස් කරන ලද මෙම යෝජනා මාලාවට සහයෝගය දීම පිළිබඳව පසුගිය දිනවල පැවැතියේ මහත් ආන්දෝලනයකි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවද මුල සිටම ඊට තදින්ම විරුද්ධ වූ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සාමාජිකත්වය විසින් විධායක කමිටුවට ‘වරය’ දුන්නේද සිංගප්පූරුවේදී ඊට විරුද්ධ වන ලෙසසි. එහෙත් සිංගප්පූරුවේදී පැවැති ඡන්ද විමසීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊට සහයෝගය හෝ විරෝධය නොදක්වා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කොටස්කරුවන් වන එහි අනුබද්ධ සාමාජිකයන්ගෙන් ඇතැමෙක් මෙම පියවර විග‍්‍රහ කරන්නේ තමන් විසින් දෙන ලද ‘වරම’ උල්ලංඝණය කිරීමක් ලෙසිනි. කෙසේ වෙතත් පළමුව විරුද්ධ වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවම පසුව ඡන්දය දීමෙන් වැළකී සිටීමත් අනුමත කළේය.

සිංගප්පූරුවේදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීමට සහභාගි වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සමග ඇතිවූ තත්ත්වයන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ගත් ස්ථාවරය සම්බන්ධයෙන් කළ සාකච්ඡවක් මෙසේ සටහන් වෙයි.  


ප‍්‍රශ්නය :

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක්වූ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නව සංශෝධන මොනවාද? ඒ සංශෝධන ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට හොඳයිද නරකයිද?

පිළිතුර:
පසුගිය ජනවාරි මාසයේ 9 වැනිදා අපිවත් ඩුබායිවල රැස්වීමකට කැඳවලා එංගලන්තයත්, ඉන්දියාවත්, ඔස්ටේ‍්‍රලියාවත් මීළඟ වසර හය හත සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිර්දේශයක් දෙනවා කියල ඒ පිළිබඳව පැහැදිලිකිරීමක් කළා. ඒ නිර්දේශ පත‍්‍රිකාව ජනවාරි මාසේ 15 වැනිදා ලංකාවට එව්වා. ඒ නිර්දේශ පති‍්‍රකාවේ සඳහන් වුණ දේ සම්බන්ධයෙන් තමයි ආන්දෝලනයක් ඇති වුණේ.

ඒ නිර්දේශ පති‍්‍රකාව අනුව අපට යම් යම් අවාසිදායක තත්ත්වයන් තිබුණා. විශේෂයෙන්ම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපතිත්වය දරන්නට පුළුවන් මේ රටවල් තුනට විතරයි. ඒ තත්ත්වයට අමතරව දැනට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මූල්‍ය සහ පරිපාලනය වශයෙන් කමිටු දෙකක් ඇතිකෙරෙනවා.  ඊට අමතරව තව විධායක කමිටුවකුත් ඔවුන් ඊට අනුයුක්ත කරල තියෙනවා.

ඒ විතරක් නොවෙයි. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව මට්ටම් දෙකකින් පවත්වාගෙන යාමටත් නිර්දේශයක් තිබෙනවා.  ඒකෙදි බැරිවෙලා හරි  එංගලන්තය, ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියා පහළට ගියොත් ඒ ගොල්ලන්ට පුළුවන් පහළට නොයා දිගටම ඉහළ තලයේ රැඳී ඉන්නත් මේ නිර්දේශ පති‍්‍රකාව නිසා පුළුවන් වෙනවා.

ඊටත් අමතරව ඔවුන් කියල තිබුණා මෙතෙක් පවත්වාගෙන ආපු ඉදිරි සංචාර සැලැස්ම මින් ඉදිරියේදී වලංගු වෙන්නෙ නෑ. ඒ වෙනුවට රට රටවල් තමන්ගේ කැමැත්තෙන් සංචාර සංවිධාන කරගත යුතුයි කියලා.


ප‍්‍රශ්නය :
මේ යෝජනා අනුව ශී‍්‍ර ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අපි‍්‍රකාව කියන රටවලට බරපතළ අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒත් ඒ එක්කම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන තරගාවලි වලින් ඔවුන්ට ලැබෙන කොටස සම්බන්ධයෙනුත් වෙනස්කම් කෙරෙනවා නේද?

පිළිතුර :
ඔව්. මීට පෙර තිබුණ ක‍්‍රමවේදය අනුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන තරගාවලිවලින් ලැබෙන මුදලින් 70% ටෙස්ට් කී‍්‍රඩා කරන රටවල් 10ට සමානව බෙදෙනවා. ඉතිරි 30% ටෙස්ට් කී‍්‍රඩා නොකරන, අනුබද්ධ සහ සහකාරක සාමාජික රටවල් අතර අතර වෙනම පදනමක් මත බෙදෙනවා.

නමුත් නව නිර්දේශ අනුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන තරගාවලි වලින් ලැබෙන මුදලින් සමානව බෙදෙන්නේ ඩොලර් බිලියන 1.5 වෙනකල් විතරයි. ආදායම ඊට වැඩි වෙනකොට වැඩි ප‍්‍රතිශතයක් එංගලන්තය, ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාවට යන්නත් අනෙක් රටවලට වෙනම පදනමක් මත කිසියම් ප‍්‍රතිශතයක් බෙදෙන්නත් ඔවුන් ක‍්‍රමයක් සකස් කරල තිබුණ.

කොහොම වුණත් මේ මුදල් වැඩිවෙනකොට බෙදී යන ප‍්‍රතිශත පිළිබඳ අනුපාතයන් හෝ ඒවා බෙදී යන පදනම අපට පැහැදිලි කරල තිබ්බෙ නෑ. ඔය වගේ තවත් ප‍්‍රශ්න ගොඩාක් තිබ්බා.

 

ප‍්‍රශ්නය :
මේ ප‍්‍රශ්න ගැන දැනගත්ත ගමන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් වරයා වශයෙන් ඔබගේ පළමු කි‍්‍රයාමාර්ගය වුණේ කුමක්ද?

පිළිතුර :
මේක අපිට හම්බ වුණේ (ජනවාරි) 15 වැනිදා. එදාම අපි නිල වගකිවයුත්තන් මුණ ගැහුණා. මොකද එහි සඳහන් වෙනවා මෙය බෙදාහරින්නට එපා කියල. ඒ වගේම අපේ සභාපති (ජයන්ත ධර්මදාස මහතා) අත්සන් තබා තියෙනවා එය රහසිගත නොවන ගිවිසුමක් විදිහට. එනිසා අපි කිසි කෙනෙකුට බෙදුවෙ නෑ. පසුව  නිල වගකිවයුත්තන් සමග කතා කරල අපි තීරණය කළා. මේක නීති උපදේශක කමිටුවටත් මූල්‍ය උපදේශක කමිටුවටත් යොමුකළ යුතුයි කියලා. ඔවුන්ගේ අදහස් අරගෙන 20 වැනිදා තිබුණු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 23 වෙන්දාට කල් දාලා ඔවුන්ගේ නිර්දේශ අරගෙන ක‍්‍රිකට් පාලක මණ්ඩලයට සහ විධායක කමිටුව ඉදිරිපත් කළා.

 

ප‍්‍රශ්නය :
එතැනදි මොකද වුණේ ?

පිළිතුර :
එහිදී අපි ඒකමතික තීරණයකට ආවා මේ වෙනස්කම් ක‍්‍රිකට්  ක‍්‍රීඩාවට නරක ලෙස බලපායි. ඒ නිසා අපට මේකට සහයෝගය දක්වන්න බෑ කියල.  අයි. සී. සී එකට  අපි ලිපියකින් දැනුම් දුන්නා මේ මේ කරුණු එක්ක අපට එකඟ වෙන්න බෑ. එනිසා අපි සහයෝගය දක්වන්නේ නෑ කියල.   

 

ප‍්‍රශ්නය :
ජනවාරි 23 වැනිදා තිබුණ විධායක කමිටු රැස්වීමෙන් පස්සේ තමයි මේ ලිපිය යවන්නේ ? මේ ලියුමට ලැබෙන ප‍්‍රතිචාරය කුමක්ද?

පිළිතුර :
ඔව්!. පස්සේ ඩුබයිවල රැස්වීමක් තිබුණා ඒ ගැන සාකච්ඡ කරන්න. ඒකට සභාපතිතුමා සහභාගී වුණා. එහිදී අපි කල් ඉල්ලූවා අපේ කරුණු පිළිබඳ නැවත සාකච්ඡ කරන්න කියලා. ඒ වෙනකොටත් රටවල් 4 ක් මුලින්ම මේකට විරුද්ධ වෙලා තිබුණේ. පාකිස්තානය, බංග්ලාදේශය, දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව මේ රටවල් හතරයි.

ඒත් ඊට පස්සේ, (රැස්වීම අතරතුර හෝ ඉන් පසුව) බංග්ලාදේශය යම් යම් හේතු මත මේ නිර්දේශ වලට එකඟතාව පල කරල තිබුණා. ඒත් එතකොටත් රටවල් තුනක් මේකට විරුද්ධව හිටියා.

 

ප‍්‍රශ්නය :
බංග්ලාදේශය කැමති වුණත් මේක අනුමත කරගන්න යාමේදී බහුතරය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා නේද?

පිළිතුර :
ඔව් !. මේ නව නිර්දේශ තුළ ව්‍යවස්ථාපිත වෙනස්කම්  පවා තියෙනවා. එනිසා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයක් 10 දෙනාගෙන් අඩුම ගාණේ 8 දෙනෙක් වත් එකඟ වෙන්න ඕන මේක අනුමත වෙන්න නම්. ඉතිං අපි දැඩි විශ්වාසයක හිටියා මේක අනුමත වෙන එකක් නෑ කියල. මොකද මේ නිර්දේශ කි‍්‍රකට් ක‍්‍රීඩාවට අහිතකර නිසා. ඒ වෙනකොටත් ශ්‍රී ලංකාව, දකුණු අපි‍්‍රකාව සහ පාකිස්තනය ඊට විරුද්ධව හිටියා.

 

ප‍්‍රශ්නය :
පෙබරවාරි මාසේ 5 වැනිදා කොළඹදී තිබුණ රැස්වීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කොටස්කරුවන්ගේ (සාමාජිකයන්) දැඩි ප‍්‍රකාශයක් වුණේත් මේ සඳහා විරුද්ධ විය යුතු බවම තමයි. ඒත් සිංගප්පූරුවේ තිබුණ රැස්වීමේදී ඔබලා විරුද්ධත්වය ප‍්‍රකාශ නොකළේ ඇයි?

පිළිතුර :
අපි සිංගප්පූරුවට ගියේත් සහයෝගය දක්වන්නේ නෑ කියල තීරණයක් අරගෙනයි. නමුත් අපිට රැස්වීමට කලින් දවසේ ආරංචි වුණා දකුණු අපි‍්‍රකාව මේකට සහයෝගය දක්වනවා කියල. ඒ කියන්නේ මේ පනත සම්මත වෙනවා. එහෙම වුණොත් මේ රටවල් තුන එක්ක හැප්පෙන්න ගිහින් අපට අවශ්‍ය දේවල් කරගන්න ඉදිරියේදී ගොඩාක් අමාරු වෙනවා.

ඒ වෙලාවෙදි අපි ගොඩාක් අසරණ වුණා. සිංගප්පූරු ගියේ මමයි, නුස්කි මොහොමඞ් මහතායි අපේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මොහාන් ද සිල්වා මහතායි. ඒත් රැස්වීමට ගියේ මම.

අපි එදා (රැස්වීමට කලින් දිනයේ) පාන්දර 1.00 වන තුරුත් සාකච්ඡ කළා මොනවද කරන්නේ කියලා. අපට අපේ සාමාජිකත්වය දුන්න වරම (සාමාජිකත්වයේ මතය) වෙනස් කරන්නත් බෑ. අපි උත්සාහ කළේ කොහොම හරි මේක කල්දමාගන්න. එහෙම උණා නම් පස්සේ මොකක් හරි කරන්න තිබ්බා.

 

ප‍්‍රශ්නය :
ඒත් ඡුන්දය දීමෙන් වැළකී සිටීමෙන් ඔබලා කළේ සාමාජිකයක් දුන් මතය ඉදිරිපත් නොකිරීම නේද?

පිළිතුර :
මෙත තිබුණ ප‍්‍රශ්නය මේකයි. 10 දෙනාගෙන් 8 ක් (දකුණු අපි‍්‍රකාවත් එක්ක) සහයෝගය දුන්නොත් යෝජනාව අනුමත වෙනවා. එහෙම වුණොත් අපිට නෛතික විකල්පයක් නෑ. මේ හේතුව නිසා අපිට සම්පූර්ණයෙන් උපායමාර්ගය වෙනස් කරන්න සිදුවුණා.

 

ප‍්‍රශ්නය :
මේ වෙනස්කම් වලින් ටෙස්ට් ක‍්‍රිකට් වලට හානියක් වෙයිද ?

පිළිතුර :
නැහැ. එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව ඔතන ඉන්න නිසා ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට හානියක් වෙන්නේ නෑ. මොකද ඔවුන් දෙගොල්ලන්ගේම ප‍්‍රධානතම තරගාවලිය අළු බඳුන තරගාවලිය නිසා.

ඔවුන් ඩොලර් මිලියන 10 ක් විතර වසරකට ලැබෙන ටෙස්ට් අරමුදලක් හදල තියෙනවා. ඒ අරමුදල එංගලන්තය, ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාවට හැර අනෙක් රටවල් 07ට සමානව ලැබෙනවා. අපිට අවශ්‍යනම් ටෙස්ට් සඳහා මේ අරමුදල පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් අනෙක් මුදල් පාවිච්චි කරන්නත් පුළුවන්.

 

ප‍්‍රශ්නය :
ඒත් මේ යෝජනා මාලාව ජූනිමාසෙදි සම්මත වුණාම ඉදිරි සංචාර සැලසුම අහෝසි වෙනවා. එතකොට අපට ටෙස්ට් කි‍්‍රකට් තරග දෙන්න ඉදිරිපත් වෙන්නේ කවුද? එවන් තත්ත්වයක් මත අපේ රූපවාහිනී අයිතිවාසිකම් අළෙවි කරන්නේ කොහොමද?

පිළිතුර :
ඉදිරි සංචාර සැලසුම සම්බන්ධයෙන් මෙතෙක් කලක් තිබුණ අවබෝධය, ඒ මග පෙන්වීම එහෙමම තියේවි. ඒවා වෙනස්වෙන එකක් නෑ. එහෙම වෙනස් වුණොත් ද්විපාර්ශවික වෙන්නෙ නෑනෙ. ඒ නිසා ඒ ගැන නම් විශ්වාසයක් තියන්න පුළුවන්.

 

ප‍්‍රශ්නය :
ඒත් දැන් ‘ක‍්‍රිකට්’ කියන්නේ ව්‍යාපාරයක්. ව්‍යාපාරයක මූලික අරමුණ මුදල් සෙවීම මගින් ලාභ ඉපයීමයි. ඒ නිසා කවුරුහරි කියන්න පුළුවන් ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වෙන්න එන්න නම් අපට මේ තරම් මුදලක් ගෙවන්න කියා. කලකට ඉස්සර ‘ඇප මුදල්’ නැත්නම් ‘පෙනී සිටීමේ මුදල්’ ලෙස හැඳින්වුණේ මේ දේම නේද?

පිළිතුර :
එහෙම තත්ත්වයක් මේ නීතිය අනුව ඇති වෙන්නේ නෑ. ඇප මුදලක් ඉල්ලන්න විදියක් නෑ.

 

ප‍්‍රශ්නය :
එතකොට ඉන්දීය පිල 2017 දී ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරයේ තත්ත්වය මොකක්ද?

පිළිතුර :
ඒක ස්‎ථිරයි. ඒක ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ.

 

ප‍්‍රශ්නය :
ඒ සංචාරය කෙටි එකක් වේවිද ? නැත්නම් සම්පූර්ණ සංචාරයම පැවැත්වේවිද?

පිළිතුර :
සම්පූර්ණ සංචාරයම. අප දැන් සම්පූර්ණ සංචාරයක් කියන්නේ ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි:20 තරග දෙකක් ඇතුළත් සංචාරයකට.

 

ප‍්‍රශ්නය :
මේ වසර මැද දකුණු අපි‍්‍රකාව ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගන්න සාකච්ඡ කරමින් යනවා නේද? එහි තරග සංයුතිය කොහොමද?

පිළිතුර :
මෙහෙමයි අපිට විකල්ප දෙකක් තියෙනවා. අපේ කැමැත්ත තියෙන්නේ ටෙස්ට් තරග තුනක් ගහන්න මොකද ටෙස්ට් තරග තුනක් තමයි අපට නැති වුණෙ (පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ එස්. එල්. පී. එල්. තරගාවලිය නිසා). එහෙම නැත්නම් ටෙස්ට් එකක් ගහල එක්දින තරග තුනක් ගහන්නත් හැකියාව තියෙනවා. නමුත් අපේ බලාපොරොත්තුව ටෙස්ට් තුනක් සෙල්ලම් කරන්නයි.

 

ප‍්‍රශ්නය :
අද ලෝකයේ තියෙන මිල අධිකම කි‍්‍රකට් කී‍්‍රඩාව විස්සයි:20 කි‍්‍රකට් තරග. මේ වි:20 කි‍්‍රකට් තරග ශ්‍රේණිගත කිරීම ආරම්ක කරපු දවසේ ඉඳලා අද වෙනකන්ම එහි මුල්තැන ඉන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. එහෙනම් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙළෙඳ වටිනාකම කොයි වගේ අගයක් ගනීවිද?

පිළිතුර :
අපේ කණ්ඩායමේ වෙළෙධ වටිනාකම ඉතාම අඩුයි. හේතුව අපේ රටේ ජනගහනය අඩුයි. ලංකාවෙ ජනගහනය මිලියන 20 යි. ඉන්දියාවෙ බිලියන 2 යි. පකිස්තානයේ මිලියන 200 යි. බංග්ලාදේශයේ මිලියන 180 යි. මොවුන්ගේ රූපවාහිනී ආදායම වැඩියි. අනුග‍්‍රාහක ආදායම වැඩියි. හොඳ උදාහරණයක් මම කියන්නම්....

ශී‍්‍ර ලංකා කණ්ඩායමට අනුග‍්‍රාහකයකු සොයද්දී අපිට පුළුවන් වුණා ටෙන්ඩර් එකකට ගිහිල්ලා, ආයතන දෙකක් සම්බන්ධ කරගන්න, වසර තුනකට. ඉතාමත් උපායශීලී ලෙස ඒ ටෙන්ඩරය හසුරුවලා ආයතන දෙකෙන් වසර තුනටම ඇමරිකානු ඩොලර් මිලියන 1.2 තමයි හම්බවුණේ . ඒ වි:20 ශ්‍රේණිගත අංක 1, එක්දින ලෝක කුසලාන අනුශූරතාව හා විස්සයි:20 ලෝක කුසලාන අනුශූරතාව දිනාගත් කණ්ඩායමට.

නමුත් පෙප්සි ආයතනය පාකිස්තානය සදහා වසරකට දක්වන අනුග‍්‍රාහකත්වය ඇමරිකානු ඩොලර් මිලියන 5 යි. ඒ වගේම සහරා ගුවන් සමාගමෙන් බංග්ලාදේශයට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් ලැබෙනවා. අපිට ආයතන දෙකක් සම්බන්ධ කරගෙනත් වසර තුනටම ඇ.ඩො. මිලියන 1.2 යි.

 

ප‍්‍රශ්නය :
එතකොට ලෝකයේ වැඩිම ජනගහණයක් ඉන්න චීනය වගේ රටකට ගියොත්?

පිළිතුර :
නිකං ගියාට බෑ. කි‍්‍රකට් ගහනවා මිනිස්සු බලන්න  ඕනා. ඉන්දියාවෙ ක‍්‍රිකට් වලට සල්ලි එන්න ගත්තේ ලෝක කුසලානය දිනුවට පස්සේ. එතකං සල්ලි ආවෙ නෑ. ක‍්‍රිකට් නිකං ගැහුවට වැඩක් නෑ හොඳට සෙල්ලම් කරන්නත් ඕනෑ.

අපි කරන කි‍්‍රකට් කී‍්‍රඩාවේ හොඳ වටිනාකමක් තියෙනවා. නමුත් රටේ ජනගහනය අඩුනම් එතැනදී වෙළෙඳ වටිනාකම අඩු වෙනවා. ඒ වගේම හොඳට ක‍්‍රීඩා කරන්නෙ නැත්නම් වටිනාකම අඩු වෙන්නත් පුළුවන්. බලන ප‍්‍රමාණය අඩුවෙනකොට වටිනාකම අඩු වෙනවා.

 

ප‍්‍රශ්නය :
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මේ යෝජනාමාලාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා දැඩිසේ නිහඬයි. හැම තැනකදීම කරළියට එන්නේ ඔබයි. නැත්නම් නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත වෙනත් විධායක කමිටු නිලධාරියෙක්. එහෙම වෙන්නේ ඇයි ?

පිළිතුර :
මේ පිළිබඳව අපි ගොඩාක් කරුණු සොයා බලල කටයුතු කරපු නිසා සභාපතිතුමා කිව්වා අපටම රැස්වීමට යන්න කියලා. මම වසර තුන හතරක් ලේකම් වරයා වශයෙන් හිටියා. එනිසා ව්‍යවස්ථපිත කරුණු, සිද්ධවෙච්ච දේවල් වගේම ගන්න තීන්දු තීරණ ගැන අවබෝධයක් මට තියෙනවා.

 

ප‍්‍රශ්නය :
සිංගප්පූරුවේදී ඡුන්දය දීමෙන් වැලකී සිටීම ගැන ක‍්‍රීඩා ඇමතිවරයා කීවේ කුමක්ද?

පිළිතුර :
කී‍්‍රඩා ඇමතිතුමා කිව්වේ ක‍්‍රීඩාවට හානි නොවන ආකාරයෙන් ගන්න තීරණයක් ගන්න කියලායි.

 

ප‍්‍රශ්නය :
දැන් යෝජනා මාලාව අනුමතයි. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කෙරුම්කාරයන් නැත්නම් සුපිරි බලවතුන් වෙලා ඉන්නේ ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තයයි. මේ තත්ත්වය මත අයි. පී. එල්. සහ බිග් බෑෂ් ඉහළට තල්ලූවෙලා අනෙක් තරග යට යයිද?

පිළිතුර :
ඔස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් එක ජනප‍්‍රිය වෙයි. ඉන්දියාවේ අයි.පී.එල් එකත් ජනප‍්‍රිය වෙයි. නමුත් ජාත්‍යන්තර ක‍්‍රිකට්වල ජනප‍්‍රියතාවය අඩුවෙන එකක් නෑ. දැනටමත් අපි නිල නොවන මට්ටමින් අයි.පී.එල් එකට ඉඩක් දීල තියෙනවානෙ.

 

ප‍්‍රශ්නය :
අලූතින් එන සංශෝධන සමග ඉහත රටවල් තුනට ‘නිෂෙධ බලය’ වැනි අතිරේක බලයක් ලැබේවිද?

පිළිතුර :
නෑ!. නෑ!!. කිසිම විදියක නිෂෙධ බලයක් මේකෙ නෑ.
නිෂෙධ බලය කියන්නේ කිසියම් තීරණයක් ගන්න වෙලාවක නිශේධ බලය තියෙන කෙනෙක් විරුද්ධ වුණත් අදාළ තීරණය ක‍්‍රියාත්මක වෙන්නේ නෑ කියන එකයි. නමුත් දැන් සියලූම අවසාන තීරණ ගන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්.

 

ප‍්‍රශ්නය :
ඒත් එතැන තියෙනවා නේ විධායක කමිටුව කියලා එකක්? ඒකේ ලොක්කාත් ඔය කියන රටවල් තුනෙන් එකක කෙනෙක් නේද?

පිළිතුර :
විධායක කමිටුව අලූතෙන් ආවේ. ඒකෙන් තමයි කටයුතු විශ්ලේෂණය කරල කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද කියලා නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඒත් ඒවා අනුමත කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්.

 

ප‍්‍රශ්නය :
මේ යෝජනා මාලාවට මුලින් අකමැති වෙලා පසුව කැමතිවෙන්න සිදුවීම මොන වගේ සරදමක්ද?

පිළිතුර :
ප‍්‍රතිපත්ති වෙනස් නොවී ක‍්‍රීඩාවේ සිදුවන වෙනස්කම් අපිට පිළිගන්න පුළුවන්. මුලින් ඉදිරිපත් වෙච්ච පති‍්‍රකාවයි පසුව සංශෝධනය වෙච්ච පත‍්‍රිකාවයි බැලූවම මුල් එකේ තිබුණ ප‍්‍රතිපත්තිවල වැරදි දේවල් 90% ක්- 95% විතර අයින් වෙලා තියෙනවා.

අපි සැලකිලිමත් වෙච්ච, අහිතකර දේවල් අයින්කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. අපිට වෙනස් කරගන්න බැරිවුණේ මේ මූල්‍ය ආදර්ශය පමණයි. අපි කැමතී පරණ ආදර්ශය තිබුණානම්. නමුත් ඒක අපිට වෙනස් කරන්න බැරි හේතුවක් තියෙනවා. ඒ රටවල් ඒ ව්‍යූහයට කැමතියි. අට දෙනෙක් අනුමත කළාට පසුව අපේ කැමැත්ත බලපාන්නේ නෑ. ඉතිං අපේ උපාය මාර්ගය විය යුත්තේ ඒ මුදල් අඩු නොවී හොයාගන්න මේ රටවල් තුන සමග ද්වීපාර්වික ගිවිසුම් මගින් කිසියම් එකගතාවකට එන එකයි.

 

ප‍්‍රශ්නය :
හානි පාලනය කියන්නේ ඒකමද ?

පිළිතුර :
අපිට හැමදාම ක‍්‍රිකට් වලදී අනෙක් රටවල් වලට වඩා ඉන්දියාව උදව් කළානේ. මේ වෙලාවේදී ඉන්දියාවට අවශ්‍ය දේකට අපි විරුද්ධ වෙනවා කියන වැරදි අදහස ඉන්දියාවට යන්න දෙන්න නරකයි. ඔවුන්ගේ තර්කය වෙන්නේ ක‍්‍රිකට් වැඩි දියුණු කරනකොට වැඩි මුදලක් ඔවුන්ට අවශ්‍යයි කියන එකයි. මොකද ඔවුන්ගේ රටේ ජනගහණය අති විශාලයි. ඒක අපට පිළිගන්න වෙනවා.


සාකච්ඡා කළේ : දමින්ද විජේසූරිය
ඡායාරූපය : ගයාන් අමරසේකර

 


අදහස් (1)

රැස්වීමට කලින්දා අපි අසරණ වුණා - නිශාන්ත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.