Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner අයර්ලන්ත ජයග‍්‍රහණය අහම්බයක් නොවෙයි

අයර්ලන්ත ජයග‍්‍රහණය අහම්බයක් නොවෙයි

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි 20 කි‍්‍රකට් තරගයකදී නම්  ඕනෑම දෙයක් සිදුවිය හැකිය. ඒ එය හිතුවක්කාරයන්ගේ කී‍්‍රඩාවක් වන බැවිනි. එහෙත් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග එසේ නොවේ. එහිදී එක් පිලකට  ඕවර 50 ක් ඇති බැවින් ඉනිම ආරම්භයේදී සිදුවන කිසියම් පළුදුවීමක් පිළිසකර කරගෙන නැවතත් තරගයට අවතීර්ණ විමේ අවස්ථාව දෙපිලටම තිබේ.

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගයේ  ඕවර 20 ක් ඇතුළත දකුණු අපි‍්‍රකානුවන්ගේ කඩුලූ 4 ක් අද වැටුණු නමුත් ඬේවිඞ් මිලර් සහ ජේ. පී. ඩුමිනි එක්ව තම පිල කෙළින් සිටවූයේත් අවසානයේදී ලකුණු 62 ක ජයක් ලබාගත්තේත්, අයර්ලන්තයට එරෙහිව නවසීලන්තයේ නෙල්සන් නුවරදී පැවැති තරගයේදී කොදෙව් පිලේ කඩුලූ 5 ක් ලකුණු 87 කට ඇද වැටුණ නමුත් ඉනිම නිමා වන විට ඔවුන් කඩුලූ 7 කට ලකුණු 304 ක් ලබාගත්තේත් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඇති සුවිශේෂී ගුණාංග නිසාය.

එබැවින් විස්සයි:20 තරගයකදී මෙන් නොව, එක්දින තරගයකදී සැබෑවටම දක්‍ෂ කණ්ඩායමක් පරාජය වීමේ අවස්ථාව අඩුවනවා පමණක් නොව, ප‍්‍රබල කණ්ඩායමක් පහසුවෙන් පරාජය කිරීමද දුර්වල කණ්ඩායමකට නොහැකිය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු විස්මය නිර්මාණය කරමින් අයර්ලන්ත කණ්ඩායම විසින් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 4 කින් පරාජය කරන්නේ මෙවන් සම්මත කී‍්‍රඩාවකදීය.

‘පළමු විස්මය’ යයි කීවද එය විස්මයක් විය නොහැකිය. මක්නිසාද යත් ටෙස්ට් වරම් ලබා නැති නමුත් අයර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගයකදී ටෙස්ට් වරම් හිමි කණ්ඩායමක් පරාජය කළ තුන්වැනි අවස්ථාව මෙය වීමයි.

එබැවින් දැන් දැන් අයර්ලන්ත පිලේ කී‍්‍රඩකයන්ට සිය ප‍්‍රතිවාදීන්ගේ ගෞරවය හිමි වෙමින් තිබේ. එය සුබ ලකුණකි. එහෙත් ඇත්ත වශයෙන්ම වසර 2007 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානු පිල පරාජය කිරීමේ සිට මේ දක්වා අයර්ලන්ත පිල දිගු ගමනක් පැමිණ තිබේ.

අයර්ලන්ත පිල පූර්ණ කාලීන වෘත්තීමය කී‍්‍රඩකයන්ගෙන් සමන්විතය. ඔවුන්ගෙන් බොහෝ දෙනකුට එංගලන්තයේ ප‍්‍රාන්ත කණ්ඩායම් සමග කී‍්‍රඩා කිරීමේ කොන්ත‍්‍රාත්තු තිබේ. මේ වනවිට අයර්ලන්තය ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේ කතාබහට ලක්වන කණ්ඩායමක් බවට පත්ව තිබෙන අතරම ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩයේදී අයර්ලන්තය සුළුවෙන් තැකීමට කිසිදු කණ්ඩායමක් ධෛර්යවත් නොවේ.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසියම් කණ්ඩායමක් ලකුණු 300 කඩයිම හඹාගොස් ජයගෙන ඇත්තේ අවස්ථා 5 කදි පමණි. අයර්ලන්තය එයින් තුනකටම හිමිකම් කියයි.

වසර 2007 දී පාකිස්තානය සහ බංග්ලාදේශය පරාජය කරමින් සහ සිම්බාබ්වේ පිල සමග පැවැති තරගය ලකුණු සමකරගැනීමෙන් අවසන් කළ අයර්ලන්තය සුපිරි 8 දෙනාගේ වටයට ඇතුළත් විය. එය අනෙක් කණ්ඩායම් වලට අදහාගත නොහැකි තරමේ එකක් විය. එයින් වසර 4 කට පසුව, 2011 ලෝක කුසලාන තරගාවලියේදී තමන්ගේ සදාතනික සතුරා වන එංගලන්තය පරාජය කළ අයර්ලන්ත කී‍්‍රඩකයෝ තමන්ටත් යමක් කළ හැකි බව පෙන්වූහ.

අයර්ලන්තය වැනි කණ්ඩායම් ගැන සුළුවෙන් තකන්නෝ තමන්ගේම විනාශය ළගා කර ගනිති.  

කොදෙව් පිල ලෝක කුසලාන තරගාවලියට පැමිණියේ දකුණු අපි‍්‍රකාවේදී ලද දරුණු තරගාවලි පරාජයකට මුහුණ දීමෙන් අනතුරුවය. එබැවින් අයර්ලන්තය පහසුවෙන්ම පරාජය කළ හැකි වෙතැයි ඔව්හු සිතූහ. එහෙත් සිදුවූයේ අනෙකකි.

අයර්ලන්තය වැඩට බැස්සේ නවසීලන්තයේ නෙල්සන්හිදී පැවැති තරගයේ මුල් කොටසේදීමය. ඞ්වේන් ස්මිත් (18), කි‍්‍රස් ගේල් (36), ඩැරන් බ‍්‍රාවෝ (0), මාලන් සැමුවෙල්ස් (21) සහ ඩිනේෂ් රැම්ඞීන් (1) කල්තබාම දවාගැනීමට අයර්ලන්තය සමත් වූ නමුත් නියමිත  ඕවර 50 නිමා වන විට කඩුලූ 7 කට 304 ක් දක්වා ලකුණු පුවරුව ඔසවා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ. එහිදී ශතකයක් ලබාගත් ලෙන්ඞ්ල් සිමන්ස්, අයර්ලන්ත පුහුණුකරු පිල් සිමන්ස්ගේ ඥාති පුතෙකි.

එහෙත් පන්දු යවන්නන් මහත් වෙහෙසවී ලබාගත් ආරම්භය නිසා අයර්ලන්තය ඇතිකරගත් බලාපොරොත්තු සුන් වන්නට නොදී එය සැබෑවක් බවට පත්කළේ එඞ් ජොයිස් (92), පෝල් ස්ටර්ලින් (84) සහ නීල්  ඕ’බ‍්‍රයන් (79) තිදෙනාය.

තවමත් 22 හැවිරිදි වියේ පසුව අයර්ලන්ත පිලේ දග පන්දු යවන්නා වන ජෝර්ජ් ඩොක්වෙල් කියන්නේ ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ගෙන් තමන්ට නිසි ගෞරවය ලැබෙමින් පවතින බවයි.

”අප කොයි වගේ තර්ජනයක් වේවිද කියලා ඔවුන් විමසිල්ලෙන් ඉන්නවා. ඔවුන් දැන් අපට සලකන්නේ වෙනස් විදිහකටයි. ඒකම ඇති.” යයිද ඩොක්වෙල් කියයි.

”අපට ඉන්න වෘත්තීය කී‍්‍රඩකයන් සමහර දෙනෙක් මෙතන ඉන්න 15 දෙනා අතරත් නෑ. ඒක ලොකු දෙයක්. වසර 2007 තරගාවලියේ සිට අපේ හැකියාවන් ඉතාමත් විශාල ලෙසින් වර්ධනය වෙලා තියෙනවා” යයි කොදෙව් පිලට එරෙහි තරගයේදී ජයග‍්‍රාහී ලකුණ ලබාගත් ජෝන් මූනි කියයි.

මෙවර ලෝක කුුසලාන තරගාවලිය සඳහා අයර්ලන්තය නිකම්ම ආවා නොවේ. ඔව්හු පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ සංචාරය කරමින් එහි කී‍්‍රඩාංගණ තත්ත්වයන්ට හුරු වූහ. අනතුරුව නත්තලට පෙර ඩුබායිහිදී පැවැති පෙරහුරු තරග කිහිපයකට සහභාගි වූ අයර්ලන්තය එහිදී තරග කළේ වත්මන් නවසීලන්ත පිලේ ප‍්‍රබලයන් වන කයිල් මිල්ස්, මාටින් ගප්ටිල්, ලූක් රොන්කි, නේතන් මැකලම් සහ මිචෙල් මැක්ලෙනගන් වැනි කී‍්‍රඩකයන්ට එරෙහිවය.

අනතුරුව ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය සමග එක්දින තරගාවලියකට සහභාගි වූ අයර්ලන්තය එහි ශූරතාව දිනාගත්තේය.

මේ වනවිට අයර්ලන්තයට ඇති මූලික බලාපොරොත්තුව වන්නේ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමයි. ඒ සඳහා දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් හතරෙන් එකක් එළියට දමාගත යුතුය. එහි මූලික පියවර ලෙසින් අයර්ලන්තය විසින් කොදෙව් පිල පරාජය කර තිබේ.

ලෝක කුසලාන තරග අත්දැකීම් අතින් අයර්ලන්තය ඉන්නේ ඉන්දියාවටත් ඉදිරියෙනි. අයර්ලන්ත කණ්ඩායමේ සිටින කී‍්‍රඩකයන් සහභාගි වූ ලෝක කුසලාන තරග වල එකතුව 84 කි. එහෙත් ඉන්දීය කණ්ඩායමේ එම අගය 36 කි.  ඕස්ටේ‍්‍රලියාවට 53 කි.

අයර්ලන්ත සංචිතයේ සිටින කී‍්‍රඩකයන් ලබාගත් එක්දින ශතක වල එකතුව 16 ක් වන නමුත් එංගලන්තය (15) සහ සිම්බාබ්වේ (10) සිටින්නේ ඊටත් පහළිනි.

නායක විලියම් පෝර්ට්ෆීල්ඞ්, ජෝන් මූනි එඞ් ජොයිස් මෙන්ම කෙවින් සහ නීල්  ඕ’බ‍්‍රයන් සොහොයුරන් දෙදෙනාත් මේ සහභාගි වන්නේ තමන්ගේ තුන්වැනි ලෝක කුසලාන තරගාවලියටයි. දස්කම් සපිරි තරුණයන් වන ඩොක්වෙල්, පෝල් ස්ටර්ලින්, ඇලෙක් කොසැක් මෙන්ම ගැරී විල්සන්ද සිය දෙවැනි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙති.

අයර්ලන්ත නායක විලියම් පෝර්ට්ෆීල්ඞ් කියන්නේ කොදෙන් පිලට එරෙහිව ලබාගත් ජයග‍්‍රහණය විමතියට කාරණාවක් නොවිය යුතු බවයි.

”ඒක විස්මයක් කියලා මට නම් පේන්නේ නෑ. අපි ආවේ මේ තරගය දිනන්නයි. ඒ වගේ හැම තරගයකදීම ප‍්‍රසාද ලකුණු 2 ක් ලබාගන්න අප උත්සාහ කරනවා” යයිද පෝර්ට්ෆීල්ඞ් පැවසීය.


අදහස් (0)

අයර්ලන්ත ජයග‍්‍රහණය අහම්බයක් නොවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.