Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්මිත් ඕස්ට්‍රේලියානු පිල කරේ තබාගෙන යයි

ස්මිත් ඕස්ට්‍රේලියානු පිල කරේ තබාගෙන යයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක කණ්ඩායමේ නායකයාට නොදැවී ශතකයක් ලබාගැනීමට අවස්ථාව දීම සංචාරක පන්දු යවන්නකුගේ සතුටට කාරණාවක් නොවෙතත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මේ වන විට තමන්ට ඕනෑ තැනට ගෙන ඇතැයි ස්ටුවර්ට් බ්‍රෝඞ් කියයි. බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමුවැනි අළු බඳුන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී අති විශිෂ්ට පිතිහරඹයක යෙදුණු ස්ටීවන් ස්මිත් ඕස්ටේ්‍රලියානු පිල ඉදිරියට කැඳවාගෙන ගියේය.

එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 302 ක් ලබාගත් අතර විනාඩි 512 ක් තිස්සේ පන්දු 326 කට මුහුණ දුන් ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 141 ක් ලබාගත්තේය. ස්මිත්ගේ ධෛර්යවත් ඉනිම හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිලට ලකුණු 26 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ.

තරගයේ තුන්වැනි දිනය වන අද (25 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩලු 2 ක් දැවී ලකුණු 33 ක් ලබා සිටියද ක්‍රිකට් මහගෙදර ඇත්තන්ගේ සැබෑ වාසිය වූයේ ලකුණු 7 ක් පමණි. ඔවුන් අත දැන් ඇත්තේ කඩුලු 8 කි.

මෙය ස්ටීවන් ස්මිත්ගේ වඩාත්ම මන්දගාමී ටෙස්ට් ශතකයයි. තරගයෙන් පසුව ස්මිත් කියා සිටියේ එංගලන්ත නායක ජෝ රූට්ගේ ආරක්‍ෂාකාරී පිටිය සැකැස්ම හේතුවෙන් තමන්ට හතරේ පහර කරා යාම අමාරු වූ නමුත් ඔහු ඒ පිළිබඳව පුදුම වූ බවයි. එහෙත් එය තමන්ගේ සැලැස්මේ කොටසක් බව ස්ටුවර්ට් බ්‍රෝඩ් පැවසීය.

“ඕස්ට්‍රේලියන්කාරයෝ වේගයෙන් ලකුණු ලබාගැනීමට කැමති බව අපි දන්නවා. ඒත් ඔවුන්ගේ හතරේ පහර වැඩි සංඛ්‍යාවක් නතර කරගන්න පුළුවන් වුණොත් අපට කඩුලු දවාගන්න වැඩි වේලාවක් ලැබෙනවා”
“ස්ටීව්ට පන්දු අඩුවෙන් යවන තරමට අනෙක් අන්තයේ සිටින පිතිකරුවාට වැඩියෙන් පන්දු යවන්න අපට ලැබෙනවා” යයිද තරගයෙන් අනතුරුව ස්ටුවර්ට් බ්‍රෝඞ් පැවසීය.

එංගලන්ත දෙවැනි ඉනිම ආරම්භ වීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ ජොස් හේසල්වුඞ් විසින් ඇලිස්ටෙයාර් කුක් සහ ජේම්ස් වින්ස් දෙදෙනාගේ ඉනිම අවසන් කරන ලදි. නවකයකු වන මාක් ස්ටෝන්මන් (නොදැවී 19) සහ නායක ජෝ රූට් (නොදැවී 5) පිටියේ රැඳී සිටිති.

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් තිදෙනා එක්ව ස්ටෝන්මන් සහ රූට් දෙදෙනාට බවුන්සර් පන්දු වරුසාවකින් සංග්‍රහ කළ අතර මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් ජෝ රූට් මහත් අපහසුතාවට පත්විය. සිනාසී තමන්ගේ රිදුම අමතක කළ එංගලන්ත නායකයා දිනය අවසන් වන තුරු සිය කඩුල්ල රැකගත්තේය.


අදහස් (0)

ස්මිත් ඕස්ට්‍රේලියානු පිල කරේ තබාගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.