Last Update  :  2024-05-18 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 මාලන් - බෙයාර්ස්ටෝ නොසැලී සිටිති

මාලන් - බෙයාර්ස්ටෝ නොසැලී සිටිති

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානුවන්ගේ භයංකාර වේග පන්දු බලඇණිය හමුවේ නොසැලී සිය කඩුලු රැකගත් ඬේවිඞ් මාලන් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹය හේතුවෙන් හිස ඔසවාගත් එංගලන්තය තුන්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (14 වැනිදා) ක්‍රීඩාව අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටියේය. මෙම තරගය පර්ත්හි බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගම් පිටියේදී පැවැත්වෙයි.

එංගලන්තය - පළමු ඉනිම
ඇලෙස්ටෙයාර් කුක් - ක.මු.කළා ප. ස්ටාර්ක්  7
මාක් ස්ටෝන්මන් -  ඇ. පෙන් ප.ස්ටාර්ක්  56
ජේම්ස් වින්ස් -  ඇ.පෙන් ප. හෙසල්වුඩ් 25
ජෝ රූට් -  ඇ. පෙනේ ප. කමින්ස් 20
ඩේවිඩ් මාලන් -  නොදැවී 110
ජොනී බෙයාස්ටෝ - නොදැවී 75
අතිරේක (බ-8,පා-2, ව-1, නි-1) 12
එකතුව ඕවර 89 කදී කඩුලු 4 ක් දැවී     305
කඩුලු වැටීම 
1-26(කුක්), 2-89 (වින්ස්),3-115 (රූට්),4-131(ස්ටෝන්මන්)
පන්දුවට පහරදීමට සිටින ක්‍රීඩකයෝ 
මූන් අලී,ක්‍රිස් වෝර්ක්ස්,ක්‍රෙග් ඕවර්ටන්, ස්ටුවට් බ්‍රෝඩ්,ජේම්ස් ඇන්ඩසන් 
පන්දු යැවීම
මිචෙල් ස්ටාර්ක්  19-3-79-2  
ජොස් හෙසල්වුඩ් 20-7-62-1  
පැට්‍ කමින්ස් 21-6-60-1  
නේතන් ලයන් 19-4-61-0  
මිචෙල් මාර්ෂ් 7-1-25-0  
ස්ටීවන් ස්මිත් 3-1-8-0  

කඩුලු රකින්නා වශයෙන් ක්‍රීඩා කරන නමුත් පිතිකරු ලයිස්තුවේ උසස් වීමක් ලද ජොනී බෙයාර්ස්ටෝ සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 174 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මාලන්, දශක ගණනාවක සිටම වේග පන්දු යවන්නන්ගේ පරාදීසයක් වූ පර්ත් තණතීරුවේදී ඕස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු සුන්කර දැමූහ. සිවුවැනි කඩුල්ල ලකුණු 131 දී බිඳ වැටුණ නමුත් එතැන් සිට එංගලන්ත ඉනිමට සවිමත් මුක්කුවක් ගැසූ මාලන් සහ බෙයාර්ස්ටෝ දෙදෙනා කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට සිය නායකයා ගත් තීරණය නිවැරදි බව තහවුරු කළහ.


එංගලන්ත පිලේ හිටපු නායක ඇලිස්ටෙයාර් කුක් මෙන්ම වත්මන් නායක ජෝ රූට්ද පිත්තෙන් අසාර්ථක වූ නමුත් කාසියේ වාසිය දිනාගත් එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල ලත් පරාජයට වැඩිපුරම රොස් පරොස් ඇසූ රූට්ට එංගලන්ත ක්‍රීඩා ලෝලීන් චෝදනා කළේ ඇඞ්ලේඞ්හිදී කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පන්දු යැවීමට ගත් තීරණය වැරදි බව කියමිනි.


ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ තේ පානයට පෙර ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූහ. එහෙත් උඩපන්දු තුනක්ම ගිළිහීයාම නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්විය. එයින් අවසන් උඩපන්දුව ලැබුණේ ඬේවිඞ් මාලන් ලකුණු 92 ක් ලබා සිටියදී යැවුණු දෙවැනි නව පන්දුවෙනි. ඒ වන විටත් මහත් අසහනයට පත්ව සිටි මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ලැබුණු උඩපන්දුව රැකගැනීමට තුන්වැනි ස්ලිප් ක්‍රීඩකයා ඉදිරියෙන් පැන්න කැමරන් බැන්ක්‍රොෆ්ඞ් උඩ පන්දුව අතහැරියේය.


ලද අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ගත් නවකයා ජොස් හේසල්වුඞ්ගේ පන්දුවක් හතරේ සීමාවට යවමින් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේය. මාලන්ගේ පන්දු 174 ඉනිමට හතරේ පහර 15 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබිණ.


පර්ත්හිදී පැවැති තුන්දින තරගයකදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට හිසෙන් ඇනීම නිසා අනවශ්‍ය අර්බුදයකට මුහුණ දුන් ජොනී බෙයාර්ස්ටෝ ඬේවිඞ් මාලන්ට අගනා සහයෝගයක් දෙමින් නොදැවී ලකුණු 75 ක් ලබාගත්තේය. මේ වන විටත් 2-0 ක් ලෙසින් අළු බඳුන තරගාවලියේ පසුපසින් සිටින ජෝ රූට්ගේ එංගලන්ත කණ්ඩායම තේ පානයෙන් පසුව සිය කඩුලු ආරක්‍ෂා කරගත්තේ ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දුර්වලතාවෙනි.


සිය 150 වැනි ටෙස්ට් තරගයට සහභාගි වන එංගලන්ත පිලේ හිටපු නායක ඇලිස්ටෙයාර් කුක්ගේ මුහුණ දුන්නේ පන්දු 16 කට පමණි. ස්ටාක්ගේ පන්දුවක් පා ආවරණයේ වැදීම නිසා කුක්ගේ ඉනිම ලකුණු 7 කට සීමා විය.

 


අදහස් (0)

මාලන් - බෙයාර්ස්ටෝ නොසැලී සිටිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.