Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 දෝනිව දවාගත්තා නම්...

දෝනිව දවාගත්තා නම්...

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි.


ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙන් වාර්තා වන්නේ 1986 දී කාන්පූර්හි පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 78 කට දැවී යාමයි. ඉන්දීය කණ්ඩායමක් එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් වන්නේ 54 කි. ඒ වසර 2000 දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සාජාහිදී පැවැති එක්දින තරගයකදීය.

කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං දෝනි ඊයේ තමන්ට හරස් නොවුණා නම් ඉන්දීය කණ්ඩායම ලකුණු 40 කට අඩුවෙන් දවාගත හැකිව තිබූ බව සුරංග ලක්මාල් පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ධරම්ශාලාහිදී පැවැති පළමු එක්දින තරගයේ වීරයා වූ සුරංග ලක්මාල් සිය ඕවර 10 ම එක දිගට යවමින් ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගත් අතර ඉන්දීය පිලේ හත්වැනි කඩුල්ල දැවී යන විටත් එකතුව ලෙසින් සටහන් වූයේ ලකුණු 27 ක් පමණි.

“ඔවුන් එක අවස්ථාවකදී ලකුණු 27 කට කඩුලු 7 ක් අහිමි කරගෙන තිබුණා. අපි හිතුවා ඔවුන්ව ලකුණු 40 කට විතර දවාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් දෝනි ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. අපිට එයාව වේලාසනින් දවාගන්න පුළුවන් වුණා නම් අපිට ඉන්දීය කණ්ඩායම ලකුණු 40 කට විතර දවාගන්න පුළුවන්කම තිබුණා” යයි තරගයෙන් පසුව සුරංග ලක්මාල් පැවසීය.

“එයා ලෝකයේ සිටින විශිෂ්ටතම පිතිකරුවෙක්. එක්දින තරග 300 කට වැඩියෙන් ක්‍රීඩා කරලා තියෙන එයා මීට ඉස්සරවෙලාත් ඒ වගේ දේවල් කරලා තියෙනවා.....ඒත් අපේ අරමුණ වුණේ තරගය ජයගැනීමයි. ඒ නිසා අපි ඒ දේවල් ගැන වැඩිය හිතන්න ගියේ නෑ” යයිද ලක්මාල් පැවසීය.

දෝනි කවදත් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ක්‍රීඩකයෙකි. ධරම්ශාලා තරගය හැරුණු විට දෝනිව මෙල්ල කරගත නොහැකි වීමේ ඉතාම මෑත උදාහරණය වන්නේ පසුගිය අගෝස්තුවේ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඔහු කළ පිතිහරඹයයි. ලකුණු 231 ක ඉලක්කයක් කරා යමින් සිටි ඉන්දීය පිලේ කඩුලු 7 ක් ලකුණු 131 කට බිඳ වැටුණු අවස්ථාවේදී බුවනේෂ්වර් කුමාර් (නොදැවී 53) සමග එක්ව 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ දෝනි ඉන්දීය පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

දෝනි මේ වසරේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ ඉනිම 6 දී ලකුණු ලබාගත්තේ 63, නොදැවී 45 යි, නොදැවී 67 යි, නොදැවී 49 යි, නොදැවී 1 යි සහ 65 යි වශයෙනි. මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එක්දින ඉනිම 6 කදදී දෝනි ලබාගත් ලකුණු සංඛ්‍යාව 290 කි. එහි සාමාන්‍යය 145.00 කි.

දෝනි හරහට හිටියත් තරගය ජයගත හැකිවූයෙන් එක දිගට එක්දින තරග 12 ක් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අස්වැසිල්ලක් ලැබිණ.

“මම එක්දින තරගයක ඕවර 10 ම එක දිගට දැම්මේ පළමු වැනි වතාවටයි. මම දෙවතාවක්ම නවතින්න ගියා. ඒත් ඒ එක්කම අපට කඩුල්ලක් ලැබුණා.....නායකයා ඇහැව්වා ඔයාට විවේකයක් ඕනෑද කියා. ඒත් මා හිතුවේ පවතින තත්ත්වය හොඳ නිසා දිගටම පන්දු යවන්නයි” යයි එක්දින තරග 68 කදී කඩුලු 94 ක් දවාගෙන ඇති ලක්මාල් පැවසීය.

ලක්මාල් ඊයේ වාර්තා කළේ ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීමයි. මීට පෙර අවස්ථා දෙකකදී සුරංග ලක්මාල් එක්දින තරග වලදී කඩුලු 4 ක් බැගින් දවාගෙන තිබේ.

ධරම්ශාලාහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තෝරා ගැනීමෙන් පසු ඉන්දීය පිලේ ඉදිරිපෙළ පිතිකරුවෝ පස් දෙනාම ලකුණු 16 ක් තුළදී ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

ඉන්දීය කණ්ඩායමේ අංක 7 පිතිකරුවා කණ්ඩායමේ ගැලවීමට ආවේ අද ඊයේ නොවේ. 1983 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගයකදීත් ඉන්දිය පිලේ ඉදිරිපෙළ පිතිකරුවෝ පස්දෙනාම ලකුණු 17 ක් තුළදී දැවී ගියහ. එදා දැවී ගිය පිතිකරුවන් අතර සුනිල් ගවස්කාර්, ක්‍රිෂණමචාරී ශ්‍රීකාන්ත්, මොහින්දර් අමරනාත්, සන්දීප් පතෙල් සහ යාෂ්පාල් ෂර්මාද සිටියහ. එම අවස්ථාවේදී කරළියට පැමිණි නායක කපිල් දේව් නොදැවී ලකුණු 175 ක් ලබාගනිමින් සිම්බාබ්වේ පිල පරාජය කළා පමණක් නොව ලෝක කුසලානයද සිය කණ්ඩායමට දිනා දුන්නේය.

 

සැකසුම : දමින්ද විජේසූරිය


අදහස් (0)

දෝනිව දවාගත්තා නම්...

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.